දුනුකේවත්ත මාතෘ හා ළමා සායනය තවම ජනතා අයිතියට නෑ | දිනමිණ

දුනුකේවත්ත මාතෘ හා ළමා සායනය තවම ජනතා අයිතියට නෑ

ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර වසර 3ක් ගත වී ඇති මාතලේ දුනුකේවත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය මේ වන විටත් ජනතා අයිතියට පත් නොකිරීමේන් එය අද වන විට වල් වැදී විනාශවීමේ අවදානමක් පවතින බව එම ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය රජය සමයේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉඹුලන්දණ්ඩ දුනුකේවත්ත ග්‍රාමසේවා වසමේ ඉදි කරණ ලද මාතෘ හා ළමා සායනයට අමතරව එම ගොඩ නැගිල්ල තුළ කෘෂි භෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් හා පොදු අවශ්‍යතාවන් රැසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඉදිකරණ කළ කරන ලද ගොඩනැගිල්ලකි. එය අද වන විටත් ජනතා අයිතියට පත් නොකිරීමෙන් එම ප්‍රදේශයේ පවුල් 3000ක පමණ ජනතාවට අපහසුතාවට පත්ව තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත නොකිරීමෙන් තොටගමුව, කනන්ගමුව, දොස්තරවත්ත, දුනුකේවත්ත, ඕවලපොල්වත්ත, කොට්ටේගොඩ හා ඉඹුලන්දණ්ඩ ගම්මාන 7ක ජනතාව පීඩාවට පත්ව ඇත.

සායනික කටයුතු සදහා සහභාගි වන ගර්භණී මාතාවන් කුඩා දරුවන් කිලෝමීටර් 3ක පමණ දුරින් පිහිටි කෝට්ටේගොඩ සායන මධ්‍යස්ථානයට යාමට සිදුවීමෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ඒ වෙනුවෙන් අමතර මුදලක් ගමන් වියදිම් සදහා වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.

මේ පිළිබද වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුකර මෙම ගොඩනැගිල්ල කඩිනමින් විවෘත කර ජනතා අවශ්‍යතාවන් ඉටු කර දීමට කටයුතු කරන ලෙස එම ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මාතලේ මධ්‍යම සමූහ
සිරි අබයසිරි

නව අදහස දක්වන්න