මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් ඉන්නවා | දිනමිණ

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් ඉන්නවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කර දැමීම සඳහා ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම මාධ්‍ය අයතන ආයෝජකයන් බිය ගැන්වීම සඳහා නොයෙක් ප්‍රවෘත්ති පළකරමින් සිටින බවත් ඔවුන් ඉටු කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්ද යන්න ජනතාව දන්නා බවත් ඒ මහතා කීය.

මහමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සති වැඩසටහනේ නව වන අදියර පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේදී ක්‍රියාවට නන්වමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. මේ යටතේ පන්විල හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල රුපියල් ලක්ෂ 1000ක වියදමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 21 ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ වසර 20ක් බලයේ සිටියත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳි කිරීමට නොහැකි වූ බවත් වත්මන් රජය එය සිදු කිරීමට යාමේදී ඇතැම් පිරිස් මාධ්‍යවල සහයද ලබා ගනිමින් මෙම ව්‍යාපෘතිය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා වසර 2002දී අගමැති ධුරයට පත් වීමෙන් පසු මෙම මාර්ගය ඉදි කිරීමට සැලසුම් කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසු එය අකුලා දමා දකුණු අධිවේගි මාර්ගය ඉදිකළ බවත් කී ඒ මහතා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම තුළින් පැයක් තුළ කොළඹ සිට මහනුවරට පැමිණීමේ අවකාශ ලැබෙන බවත් කී ඒ මහතා මෙය මධ්‍යම පළාත් ආර්ථිකයේ සුවිශාල දියුණුවක් ඇති වීමට හේතුවනු ඇති බවද අවධාරණය කළේය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා දෛනිකව අති විශාල පිරිසක් මහනුවරට පැමිණෙන බවත් මාතර සිට හෝ පැමිණ පැය කිහිපයක් තුළ දළදා වැඳ ආපසු නිවෙස්වලට යෑමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බවත් කිරිඇල්ල මහතා කීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන, වේලූ කුමාර්, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම යන මහත්වරුද සහභාගී වූහ.

අසේල කුරුළුවංශ, තිලක් පුෂ්පකුමාර හා පාතදුම්බර විශේෂ
ඡායාරූපය-ගාමීණී රණසිංහ

නව අදහස දක්වන්න