පොදු ප්‍රවාහනය ජනතාවට ආකර්ෂණීය කිරීමට වැඩපිළිවෙළක් ගෙනෙනවා | දිනමිණ

පොදු ප්‍රවාහනය ජනතාවට ආකර්ෂණීය කිරීමට වැඩපිළිවෙළක් ගෙනෙනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

මාර්ග සංවර්ධනයට යොදන මුදලට වඩා වැඩි මුදලක් තදබදය නිසා විනාශ වෙනවා
- ඇමැති චම්පික රණවක

ප්‍රධාන නගරවල රථවාහන වේගය අඩුවීම ආර්ථිකයට බලපානවා
- රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

දඩ මුදල් පිළිබඳ නියමයන් වෙනස් කරනවා නම් ‍හොඳයි
- මොහාන් ප්‍රියදර්ශන සිල්වා

නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, වර්තමානයට ‍ගැළපෙන ලෙස මෝටර් රථ වාහන පනත යථාවත් කිරිමටත් පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (19) ප්‍රකාශ ක‍ළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය. මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම විවාදය ආරම්භ කෙරිණි. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමි‍ණියේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා‍ - මෝටර් වාහන පනතේ යම් යම් සංශෝධන සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. කාලීන අවශ්‍යතා හා නවීන තාක්ෂණය අනුව මෝටර් රථ ලියාපදිංචිය, බලපත්‍ර නිකුත් කිරීම සහ නව වාහන නියාමය කිරීමට මෙමඟින් අප නීතිය යථාවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ විද්‍වතුන් සමඟ අපි සාකච්ඡා කළා. මහජන නියෝජිතයින් සමඟත් අපි සාකච්ඡා කළා.

රියදුරු අභිවෘද්ධි ලකුණුවල අවාසි සහගත ලකුණු වැඩිනම් රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා. මෙය ජාත්‍යන්තරයේ තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය අපේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා නිතීය ක්‍රියාත්මක කිරීමට පනත සංශෝධනය කළ යුතුයි. ‍ මෝටර් නිවස සහ ට්‍රොඩි සයිකලය, කැරවෑන් වැනි වාහන ලියාපදිංචි කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් අපේ පනත යටතේ නැහැ. ට්‍රොඩි සයිකලය රටවල් 16ක තිබෙනවා. එවැනි වාහනයක් ලියාපදිංච් කිරීමට ක්‍රමවේදයක් මෙයින් සකස් කරනවා. එයින් වඩාත් ආරක්ෂිත සේවාවක් ලබාගත හැකියි.

අද සිදුවන අනතුරුවලින් ත්‍රීරෝද රථවලින් විශාල සංඛ්‍යාවක් මාරක අනතුරු සිදුව තිබෙනවා. ඒ නිසා මේ ට්‍රොඩි සයිකලය ත්‍රීවිලරය වෙනුවට භාවිත කළ හැකියි. ත්‍රීවිලරය අනාරක්ෂිතයි. ඒ නිසා ඒ වෙනුවෙන් ආරක්ෂිත වාහනයක් හඳුන්වාදීම අපේ යුතුකමක්. තවත් සංශෝධන ගණනාවක් කරනවා. රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා තවත් දෑ බැලීමට කටයුතු කරනවා. මේ වන වි‍ට බැලුවේ ශාරීරික රෝගින් තමයි බැලුවේ. නමුත් ඉදිරියේ දී මානසික සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමටත් අපි මේ සංශෝධනවලට ඇතුළත් කර තිබෙනවා.

අන්තරාදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රියදුරා සාමාන්‍ය රියදුරකුට වඩා උනන්දුවෙන් ක්‍රියාකළ යුතුයි. ප්‍රවාහනය කරන්නේ අන්තරායක ද්‍රව්‍යයක් කියා ප්‍රදර්ශනය කිරිමටත් ලංකාවේ නීති නැහැ. දඩගෙවීමේ දී තැපැල් දෙපාර්තුමේන්තුවට යා යුතුයි. නමුත් දැන් තාක්ෂණය දියුණු නිසා ස්ථානිය දඩය ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයට භාවිත කිරීමට සැලැස්වීමට අප කටයුතු කරනවා. ඒ සඳහා නිති පද්ධතියක් සකස් කිරීමට තමයි මේ සංශෝධන ටික අපි එකතු ‍කළේ.

විශේෂයෙන් ම ත්‍රීවීල රථ සඳහාත්, මෝටර් සයිකල් සඳහා ෆුල්ෆේස් හෙල්මට් ගැසට් එකක් අපි නිකුත් කරනවා. ත්‍රීවිල් රථ නියාමනයට අපි කටයුතු කරනවා. මේ සඳහා ත්‍රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කළා. මහ නගර ඇමැතිතුමා මාර්ගවල රියදුරන් සංවරයක් ඇති කිරිමට කටයුතු කරගෙන යනවා. මාර්ග තදබදය අවම කිරීම සඳහා දැඩි පියවර දිරියේ දී ගන්න සිදුවෙයි. අපේ රටේ බස්රථ ප්‍රමාණවත්. නමුත් අපි බස්රථවල ගුණාත්මකභාවය වැඩිකළ යුතුයි. බස්රථ ත්‍රීවිලර් අනවශ්‍ය ලෙස මේ රටට ගෙන්වීම පිළිබඳ අපි දෙවරක් සිතිය යුතුයි. පොදු ප්‍රවාහන සඳහා ජනතාව ආකර්ශනය කිරිමට සාධනීය වැඩපිළිවෙළක් අපි සකස් කරනවා.

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය අපි ප්‍රචලිත කරනවා. ඛනිජ තෙල් පවා දුම්රියෙන් ගෙනයාමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එමඟින් විශාල වාහන තොගයක් මාර්ගයෙන් ඉවත් කිරීමට හැකිවෙනවා. තවත් දුම්රිය මැදිරි ගෙන්වා ගැනීමට අප කටයුතු කරනවා. දුම්රිය ක්ෂේත්‍රයේ සුවිශාල සංවර්ධනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. සේවක තෘප්තියක් ඇති කිරිමට අප කටයුතු කරනවා. පසුගිය රජයේ සේවක අර්ථසාධක අරමුදල් බිලියන 13කට අධික ප්‍රමාණයක් නොගෙවා හිටියා. එය ගෙවීමට මා ඇමැතිවරයා ලෙස කටයුතු කළා. ඒ නිසා මේ සියලු ප්‍රගතිශීලී සංශෝධන සඳහා සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වසර පහක කාලයක් සේවයේ සිටි අය ස්ථානමාරූ ලබාදීමට අප කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස)- අනතුරු වැළැක්වීම සඳහා ගෙනඑනු ලබන යෝජනාවන්ට අපි සහයෝගය ලබාදෙනවා. ත්‍රීරෝද රථවලට මීටර් සවිකිරීම ඉතා හොඳ යෝජනාවක්. සමහර රියදුරන් කෙටි දුරක් යාමට විශාල මුදලක් අයකරනවා. උතුරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පුරප්පාඩු තිබෙනවා. ඒ සඳහා ඒ පළාත්වල දිස්ත්‍රික්කවල සිටින අපෙගේ ජනතාව රැකියාවන් සඳහා යොදා ගන්නා. පුනරුත්ථාපනය කළ තරුණයින් විශාල ප්‍රමාණයක් රැකියා විරහිතව සිටිනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා- මේ රටේ නාගරීකරණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කසළ කළමනාකරණ ගැටලුව, ජල කළමනාකරණ ගැටලුව තිබෙනවා. ජල හිඟයක් පිළිබඳ ලෝකය පුරාම තිබෙනවා. කැරිබියන් ප්‍රදේශයේ අමෙරිකාවේ ෆ්රිඩාවල ඇතිවුණ තත්ත්වයෙන් මෙය පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා අපි ජල කළමනාකාරණය කරන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි. ඒ සඳහා ගංගා නිම්න සංවර්ධනය අවශ්‍යයි.

අනෙක් කරුණ වන්නේ වාහන තද බදය. 1950 වන විට මෝටර් වාහන පනත එනවිට වාහන තිබුණේ 5000යි. නමුත් දැන් පවුල් එකකට වාහනයක් බැගින් තිබෙනවා. රටක් හැටියට බිලියන 600ක් ආයෝජනය කරනවා. එයින් බිලියන 300ක් වියදම් කරන්නේ ඉන්ධන ගෙන්වන්නයි.

මෙය ඉතා විශාල ප්‍රමාණයක්. රටේ මාර්ග තදබදය නිසා විනාශ වන මුදල මාර්ග සංවර්ධනයට යොදන මුදලට වඩා විශාලයි. ඒ නිසා මෙයට පිළියම් කළ යුතුයි. ප්‍රවාහන ක්ෂේත්‍රය ආර්ථිකයට කරන බලපෑම සියයට 20 ඉක්මවා යන බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතුයි. ඉතිහාසයේ වැඩිම ණය ලබන වසරට අවශ්‍ය වී තිබෙනවා. ඒ බිලියන 1800ක්. එය අපට අවශ්‍ය වන්නේ පසුගිය කාලයේ සිදු කළ මාර්ග සංවර්ධනවලට ගත් ණය ගෙවීමටයි.

මාර්ග සංවර්ධනයට ට්‍රිලියන ගණනින් වියදම් කර තිබෙනවා. 2025 වන තෙක් මාර්ග සංවර්ධනයටත් තවත් ට්‍රිලියනයක් පමණ වැයවෙනවා. ඒ නිසා මාර්ග තදබදයට විකල්ප ගණනවාක් තිබෙනවා. එය අපත් අත්හදා බැලිය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා (එජනිස)- මෙම යෝජනා ඉතාම යහපත් හැටියටයි මා දකින්නේ. අපේ රටේ මාරක රිය අනතුරු වසරින් වසර වැඩිවී තිබෙනවා. දඩමුදල් වැඩි කළාට අනතුරු අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ආකල්පත් වෙනස් කළ යුතුයි. රියදුරන් චේතනාන්විතව අනතුරු කරගන්නේ නැහැ. යාන්ත්‍රික දෝෂ නිසා අනතුරුවලට ලක්වෙනවා. ඒ නිසා මේ දඩමුදල් පිළිබඳ වෙනසක් කරනවා නම් ‍හොඳයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා- ජනතාවගේ ආදායම් තත්ත්වය උසස් වෙනවිට ප්‍රවාහන ඉල්ලුම වැඩවෙනවා. රජයක් හැටියට වසරින් වසර පැන නගින කරුණු ඒ වේලාවේදීම විසඳුවේ නැතිනම් තවත් වැඩිවෙනවා. අපෙ ප්‍රධාන නගර ගත්විට එන්න එන්නම රථවාහන වේගය අඩුවෙලා තිබෙනවා. එය ජනතාවට හා ආර්ථිකයට බලපා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්තිය තීරණයක් අරගෙන ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා (එජාප) - විනයක් නැතිකම නිසා විශාල අනතුරු සංඛ්‍යාවක් මෙන්ම තදබදයකුත් ඇති වෙනවා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) - පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිමට බස්රථවල ගුණාත්මකභාවය ඉහළ දැමිය යුතුයි.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා - රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කරනවා. මෝටර් වාහන (සංශෝධන ) අපේ රටේ බොහෝ නීති ප්‍රවාහන ක්ෂේත්‍රයේ හඳුන්වා දී තිබුණත් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. නීති නියාමනය කරන ආයතන මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා (එජාප) - මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පොතුහැර කොටස නතර කරන්න සමහරු උත්සාහ ගන්නවා. අපි එයට ඉඩ දෙන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය අශු මාරසිංහ මහතා (එජාප) - සුදු ඉරෙන් පැනීම කරන විටත් වාහන ඒ අයට ඉඩ ලබාදෙන්නේ නැහැ. බස්රථවල අධික ශබ්දයෙන් සිංදු දාගෙන යනවානම් ඒ යට එරෙව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

සංශෝධන සම්මත විය.

පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 9.30ට යළි රැස්වේ. 

නව අදහස දක්වන්න