ඉල්ලන ඕනෑම මැතිවරණයක් දෙන්න ආණ්ඩුව සූදානම් | දිනමිණ

ඉල්ලන ඕනෑම මැතිවරණයක් දෙන්න ආණ්ඩුව සූදානම්

මැතිවරණ කල්දමන්නේ නැහැ

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේ දී පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවැසීය.

මැතිවරණ කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මැතිවරණ ක්‍රමවත්ව පැවැත්විමට කටයුතු සැළසීම හේතුවෙන් කල් ගතවූ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව මැතිවරණවලට බිය නොමැති බවත්, පසුගිය රජය සිංහල ජනතාව සියයට අනුපහක අති බහුතරයක් සිටින 'සිරිකොත' ප්‍රදේශය අයත් මැතිවරණ ආසනය බහු ආසනයක් කර අමතර අපේක්ෂකයින් දෙදෙනෙක් එම ප්‍රදේශයට එක්කළ බවත් එලෙස සිදුකළේ තමන්ගේ අය ඇතුළත් කිරීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වත්මන් රජය එසේ නොකළ බවත් පැවසූ අගමැතිවරයා 'මොන ඡන්දය ද ඕනා, ඕන ඡන්දයක් තියෙනවනම් කියන්න' යැයි ඒකාබද්ධ විපක්ෂයෙන් විමසීය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය මැතිවරණවලට බියනම් එයත් කියන්නැයි අගමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයට දන්වා සිටි‍යේය. අනුපාත ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදිම වැදගත් බවට සියලු පක්ෂ හා කණ්ඩායම්වලින් ඉදිරිපත්වූ යෝජනා අනුව ඡන්ද ක්‍රමය නිවැරැදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කාලය ගතවූ බව පෙන්වාදුන් අගමැතිවරයා ශිලාචාර මැතිවරණ ක්‍රමයක් නිවැරැදි නියෝජනයක් පෙන්නුම් කරන ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් අවධානය යොමුව ඇති බවත් පැවැසීය.

එමෙන්ම සුළු ජන පක්ෂ නියෝජනය, කාන්තා නියෝජනය ආදිය කෙරෙහිත් අවධානය යොමුකර ඇති බවත් හෙතෙම පැවැසීය.

මැතිවරණ කොට්ඨාස පන්දහසක් ඇති බැවින් එම සෑම කොට්ඨාසටකටම ලැයිස්තුවක් මුද්‍රණය කිරීමට කාලය අවශ්‍ය හෙයින් මැතිවරණය පැවැත්වීමට කාලය අවශ්‍ය බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවත් අගමැතිවරයා‍ සඳහන් කළේය. එමෙන්ම 2018 වසරේ අය-වැය, සාමාන්‍ය පෙළ විභාගය හා නත්තල යන කරුණු හේතුවෙන් ඡන්දය බොහෝ විට ජනවාරි මාසයේදි පැවැත්වීමට හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- ඉදිරි පළාත් පාලන මැතිවරණ සියල්ලම නව ක්‍රමයක් අනුව පැවැත්විමට මේ සභාව තිරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවැති අනුපාත ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය කේන්ද්‍ර කරගත් මිශ්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මෙම ක්‍රමය දේශපාලන පක්ෂ බහුතරයක එකඟත්වයකින් සකස් කළ කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන ආකාරයේ එකක්. අපට අවශ්‍ය වනුයේ ආණ්ඩුවේ මතය හෝ බහුතරයේ මතය අනෙක් අය පිට බලහත්කාරයෙන් පටවන්න නෙවෙයි. සියලූ දෙනාගේ අදහස් විමසීමෙන් ශීලාචාර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටයි. කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ඉන්න ඡන්ද ක්‍රමයක් හඳුන්වා දිමටයි. එසේ කරද්දි සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන ක්‍රමයක් සකස් කිරීමට අවවශ්‍ය වුනා. එමෙන්ම කාන්තාවන්ට නියෝජනයක් ලබා දීම අවශ්‍යයි. එය සකස් කිරිමට විවිධ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමේ දී කාලය ගතවුනා. එසේ කාලය ගත විම මැතිවරණ කල්දැමිමක් ලෙස අර්ථගන්වන්න සමහරු උත්සාහ කළා. පටු දේශපාලන වාසි සඳහායි මෙවැනි මත පතුරවන්නෙ. ඡන්දය කල් දමන්න අපිට අවශ්‍යතාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එවැනි අවශ්‍යතාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් එවැනි අවශ්‍යතාවක් නැහැ. දැන් නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමත වී තිබෙනවා. ඡන්ද පැවැත්විමට අවශ්‍ය නෛතික පසුබිම සකස් වි හමාරයි. ඡන්දයට යන්න බය අයයි කෑගහන්නේ. (සභාවේ ඝෝෂා)

කතානායක කරූ ජයසූරිය මහතා - පාර්ලිමේන්තුවේ අදහස් ප්‍ර‍්‍රකාශ කරන්න හැමෝටම අවස්ථාව තියෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - පසුගිය සතියේ මා පාර්ලිමේන්තු පක්ෂ නායකයින් හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව සාකච්ඡා කළා. කඩිනම්ව ඡන්ද පැවැත්විය යුතු බව ඔවුන් සියලූ දෙනාගේ අදහසයි. ලබන නොවැම්බර් අයවැය, දෙසැම්බරයේ සාමාන්‍ය පෙල විභාගයත්, නත්තල් උත්සවයෙනුත් පසුව ඒවාට අවහිර නොවන ලෙස එළැඹෙන ජනවාරියේ ඡන්ද පැවැත්වීම සුදුසු බව පක්ෂ නායකයින්ගේ අදහස වුනේ. ඒ අනුව මැතිවරණය කොමිසම දින නියම කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසයේ මැතිවරණය පවත්වන බව කියන්න කැමතියි. ගෙනාව අලූත් පළාත් පාලන ඡන්ද කොට්ඨාස ක්‍රමයේ දී මිනිස්සු නැති තැන්වලත් කොට්ඨාස වෙන් කරලා තිබුණා. සිරිකොත මන්දිරය තියන තැන බහු ආසනයක් කළේ වෙනත් ජාතීන් ඉන්න බව කියලා. 95%ක් සිංහල. එතනට දෙක් දැම්මේ පැරදෙන බයට. මේවා සකසන්න කල් ගියා. මේ ක්‍රමවේදය කවුරුත් එකඟ වෙන දෙයක්.

ඡන්ද කොමිසම කිව්වා ඡන්ද කොට්ඨාස 5000ක් තියෙන නිසා වෙන වෙනම ඡන්ද පත්‍රිකා ගහලා සූදානම් වෙනකොට කල් යනවා. විභාගය හා නත්තලෙන් පස්සේ තියමු කිව්වා. ඔබලා ඡන්දයට එන්න බය නම් එයත් අපිට කියන්න. මට දැන ගන්න ඕනේ මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ සන්ධානයෙන් ඡන්දේ ඉල්ලන්නේ නැත්නම් වෙනත් අයට වැඩ කරනනවා නම් මේ ජනවාරි මාසේ වෙන කොට මෙතන කවුරුත් නැහැ. තමන්ගේ පක්ෂෙන් අයින් කළොත් කෑ ගහන්න බැරි වෙනවා. ඒකාබද්ධ විපක්ෂය අපිට සහාය දෙන්න. ඊට පස්සේ අපිට පෙබරවාරි මාසේ වෙනකොට නිස්කාන්සුවේ ඉන්න පුළුවන්. 

නව අදහස දක්වන්න