විගණකාධිපති උපකල්පනයන් මත සිදුකර ඇති බැඳුම්කර අලාභ ගණනය කිරීම් නිවැරදි නැහැ | දිනමිණ

විගණකාධිපති උපකල්පනයන් මත සිදුකර ඇති බැඳුම්කර අලාභ ගණනය කිරීම් නිවැරදි නැහැ

කමනි අල්විස්

බැඳුම්කර සම්බන්ධව අලාභය ගණනය කිරීම සඳහා විගණකාධිපති උපකල්පනය මත සිදුකර තිබෙන ගණනයන් නිවැරදි නොවන බව ඊට අදාළ කාරණා රැසක් පෙන්වා දෙමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (19) සාක්කි දුන්නේය.

රජයට රුපියල් බිලියන දහතුනයි දශම පහයි පහක මුදල් අවපාතයක් මාර්තු 2දා වනවිට පැවැති බව පැවසූ සාක්ෂිකරු මහේන්ද්‍රන් මහතා රජයේ සේවකයින්ට සිදුකළ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තම මතකයේ හැටියට රුපියල් බිලියන එකසිය හැත්තෑ දෙකක අවශ්‍යතාවයක් මාර්තුවල තිබුණ බවත් ප්‍රකාශ කළේය.

වසර 2015 පෙබරවාරි 26 උදේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇමැති කබීර් හෂීම් සහ එවකට අග්‍රාමාත්‍ය උපදේශක මලික් සමරවික්‍රම මහත්වරුන් සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන හැත්තෑපහක අවශ්‍යතාවයක් තිබෙන බවට දැනුම් දුන් බවත් සාක්ෂිකරු පැවැසීය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මහේන්ද්‍රන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදුවිය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සාක්ෂි විමසීම හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් සාක්ෂිකරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රට පත්වී තිබුණ උග්‍ර ණය අර්බුදයෙන් බේරාගැනීමට පවතින ණය අර්බුද කළමනාකරණය කරගැනීම ‍ප්‍රධාන කාර්ය සාධකය ලෙස සළකා ක්‍රියා කළේය.

බැඳුම්කර සෘජු ස්ථානගත කිරීම් ක්‍රමවේදය යටතේ නිකුත් කිරීමට වඩා වාසිදායක වන්නේ වෙන්දේසි ක්‍රමයයි. වෙන්දේසිය විවෘත ක්‍රමයකි. සෘජු ස්ථානගතකිරීම්වලට වඩා විනිවිදභාවයක් වෙන්දේසි ක්‍රමය තුළ තිබේ.

ණය කළමනාකරණය කිරීමේදී විනිවිදබවකින් පිරිසිදුව ක්‍රියාකරමින් යහපාලන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව අගමැතිතුමාට දැනුම් දුන්නේය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති උපදෙස් ආර්ථික පර්යේෂණ මූල්‍ය ස්ථාවරයන් රෙගුලාසි ගොඩනැගිලි පහසුකම් පොකුරු ලෙස වෙන් කර නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය වීරසිරි, සමරසිරි සහ ආනන්ද සිල්වා මහත්වරුන් යටතට පත්කළා.

විවෘත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළෙමි. ඒ යටතේ ඕනෑම කෙනෙකුට පැමිණ මහ බැංකු අධිපති සමඟ කතා කිරීමේ ක්‍රමවේදයක්.

සේවකයින් ඉලක්ක කරගෙන මාරුවීම් සිදුනොකළෙමි. වසර පහක සේවයෙන් පසු සේවකයින් මාරුකිරීමේ ක්‍රමවේදය වසර තුන දක්වා අඩු කළේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්.

බිලියන දහතුනක අවශ්‍යතාවයට බිලියනයක බැඳුම්කර නිකුත් කරන නිවේදනය නිකුත් කළේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ තීරණය මතයි.

පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසිය පැවැති දිනයේ දෙවරක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියෙමි. බැංකුවේ සෑම අංශයකටම යාම ඒම මගේ රටාවයි. විදෙස් බැංකුවල සේවය කර තිබෙන විට සිදුවන්නේත් එම රටාවයි.

සේවක අර්ථසාධක අරමුදල ද්විතියික වෙළෙඳ පොළ ගනුදෙනුවල යෙදීමෙන් ලාභ ලැබූ බව මූල්‍ය මණ්ඩලය දැනුම් දී තිබේ.

සිදුකළ වෙන්දේසි තුළින් රජයට ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිම පාඩුවක් සිදුකළේ නැත. මොනයම් හෝ වරදක් සිදුකර නොමැත.

සේවක අර්ථසාධක අරමුදල ද්විතීය වෙළෙඳ පොළේ සිදුකළ ගනුදෙනුවලදී ලාභ ලැබූ බව මූල්‍ය මණ්ඩලය දැනුම් දී තිබුණි.

වසර 2012 ඔක්තෝබර් මාසයේදී දියණිය අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ විවාහ විය. එම විවාහ මංගල්‍යයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු රවී කරුණානායක, ජෝන් අමරතුංග, ජෝන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, සාගල රත්නායක ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා ඇතුළු දේශපාලනඥයන් සහ කබ්රාල් මහතා, හැරී ජයවර්ධන, මනෝ සෙල්වනාදන්, සුසන්ත රත්නායක, රාජන් බ්‍රිටෝ ඇතුළු ව්‍යාපාරිකයින් රැසක් සහ විශාල පිරිසක් ඊට සහභාගි විය.

රාජකාරි ප්‍රශ්න බිරිඳ හෝ දරුවන් බෑනා සමඟ කිසිම අවස්ථාවක කතා බහ කර නැත. බැංකු අධිපති ධුරයට පත්වීමට පෙර සිට බෑනා වන අර්ජුන් ඇලෝසියස් ප්‍රාථමික වෙළෙඳ පොළ ගනුදෙනුකරුවෙක්. ඔහුට ඒ සඳහා බලපත්‍රය ලැබී ති‍බුණේ බොහෝ කාලයකට පෙරදීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් හෝ ඊට අනුබද්ධ කිසිම ආයතනයකවත් ශ්‍රී ලංකාවේ මොනයම් හෝ ආයතනයකවත් කොටස් නොමැත.

මහ බැංකු නිල නිවසේ පදිංචියට ගොස් නැත. එහි අංගසම්පූර්ණ කාර්යාල කාමරයකි. එහි රාජකාරි කටයුතු සිදුකර තිබේ. එම නිල නිවස පරිහරණයට නුසුදුසු තත්ත්වයක පැවතුණි. බුමුතුරුණු පවා සුනඛයන්ගේ සපාකෑම්වලට ලක්වී තිබේ. මෙහි හිටපු අධිපති එවකට පදිංචිව සිටියේය. මගේ බිරිඳට මව්පියන්ගෙන් ලැබුණු නිවසේ අප පවුලේ අය පදිංචිව සිටියේය. සිංගප්පූරුවේ සිට පැමිණි අවස්ථාවල එම නිවසේ පදිංචිය සිදුවෙයි. එය මගේ දියණියට දී තිබේ. මාමා මව්පිය උරුමයෙන් ලද නිවස පුතාට දී තිබේ. අධිපති ධුරයට පත්වීමට පෙර වසර දහයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර තිබේ. 1983 වර්ණසේන රාසපුත්‍ර සහ 1987 ආචාර්ය නෙවිල් කරුණාතිලක මහත්වරුන් අධිපති ධුරය දරද්දි සේවය කළෙමි. මහ බැංකු අධිපති ධුරයට පත්වීම ලබා ඇතුල්වෙද්දි උණුසුම් පිළිගැනීමක් ලැබුණි. 2015 ජනවාරි 23 දා අධිපති ධුරයේ පත්වීම් ලිපිය ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එමිරේට්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, හොංකොංහි එච්.එස්.බී.සී. බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක, හොංකොං සිංගප්පූරු රටවල ප්‍රධාන පෙළේ බැංකුවල උසස් නිලතලයන් හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මුදල් අමාත්‍යාංශයේ තනතුරු හොබවා තිබේ.

වැඩබලන සොලිසිටර් ‍ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සමඟ නීතිඥ චානක ද සිල්වා, නීතිඥ සුදත් කල්දේරා, නීතිඥ අරුණ සමරජීව, නීතිඥ මංජුක ප්‍රනාන්දුපුල්ලේ, නීතිඥ සචින්ත කහඳගේ මහත්වරු අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටියහ.


නීති අංශයක් පිහිටුවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගැනීම නැවතුවා

නීති දෙපාර්තමේන්තුවක් නොතිබුණ ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන ඒ සඳහා මුදල් ගෙවීම් සිදුකර තිබුණු බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. සතියකට තුන් හතර වතාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් බැංකුවට පැමිණෙන බවත් සාක්ෂිකරු පැවැසීය.

මහ බැංකු අධිපති ධුරයට සාක්ෂිකරු පත්වන අවස්ථාවේදී මෙම තත්ත්වය පැවැති බව පැවසූ සාක්ෂිකරු මහේන්ද්‍රන් මහතා තවත් නීති දෙපාර්තමේන්තුවක් බැංකුවේ ස්ථාපිත කළ බවත් පැවැසීය. වෙනම නීති අංශයක් ස්ථාපිත කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිපදෙනෙකු පැමිණි අවස්ථාවේ තමා දැනුම් දුන් බවත් සාක්ෂිකරු පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ උපදෙස් අධිපති ධුරය දරද්දි තමන් ලබා නොගත් බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 

කමනි අල්විස්

නව අදහස දක්වන්න