මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 31 දා ගලිගමුවෙන් ඇරැඹේ | දිනමිණ

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 31 දා ගලිගමුවෙන් ඇරැඹේ

‘ඔසවමු දස්කම් අනාගතයට’ යන තේමාව ඔස්සේ සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් 10වැනි වරටත් සංචිධාන කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය මේ 31 වැනිදා ගලිගමුව මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික වොලිබෝල් ශූරතාවලිය ආධුනික හා සුපර් ලීග් යන අංශ දෙක යටතේ පැවැත්වෙන අතර දිස්ත්‍රික් මට්ටමින් තරග ආරම්භවී හා ජාතික මට්ටම දක්වා පැමිණීම විශේෂත්වය වේ. සුපර් ලිග් තරගාවලියේ පිරිමි අංශයෙන් ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, විදුලිබල කණ්ඩායම, ජාතික තරුණසේවා කණ්ඩායම, වරාය අධිකාරීය, පොලීසිය, වෙළෙඳ සේවා ඒකාබද්ධ කණ්ඩායම එක්වන අතර සුපර් ලීග් කාන්තා අංශයෙන් ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, ජාතික තරුණසේවා කණ්ඩායම, වරාය අධිකාරීය, වෙළෙඳ සේවා ඒකාබද්ධ කණ්ඩායම තරග වදිති.

සුපර් ලීග් තරගාවලිය ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා පිටිවල පැවැත්වීමට වොලිබෝල් සම්මේලනය කටයුතු කොට තිබීම විශේෂත්වයකි. මෙමගින් උණුසුම් තරග ග්‍රාමීය ක්‍රීඩා ලෝලීන්ට නැරැඹීමේ අවස්ථාව උදාවන අතර රට පුරා වොලිබෝල් ප්‍රබෝධයක් ඇති කිරීම අපේක්ෂාව වේ. අවසන් තරග නොවැම්බර් 18වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙවර සුපර් ලීග් අංශයෙන් ශූරතා දිනන පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂ එකහමාර බැගින් පිරිනැමෙන අතර ආධුනික අංශයේ ජයග්‍රාහී පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමේ. සුපර් ලීග් දෙවැනි ස්ථානවලට රුපියල් ලක්ෂය බැගින් හා තෙවැනි ස්ථානවලට රුපියල් 50000 බැගින් පිරිනැමේ. ආධුනික අංශයේ දෙවැනි ස්ථානවලට රුපියල් 50000 බැගින් හා තෙවැනි ස්ථානවලට රුපියල් 25000 බැගින් පිරිනැමීමට සිලෝන් බිස්කට් ආයතනය කටයුතු යොදා ඇත.

මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියට කණ්ඩායම් 3000ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලිය පිළිබඳ පෙරේදා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසූවේ රට පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දියුණු කර ගැනීමට ජාතික වොලිබෝල් ශූරතාවලිය මනා පිටු වහලක්වන හෙයින් මන්චී අනුග්‍රහය මේ තරගාවලියට ලැබීම අගය කරන බවයි. ලාභ පරමාර්ථයෙන් තොරව වසර 10ක් අඛණ්ඩව අනුග්‍රහය දැක්වීමෙන් ජාතික ක්‍රීඩාවට ශක්තියක් ලැබී ඇතැයි ද ඇමැතිවරයා ‍පැවැසීය.

ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුග්‍රාහකත්වය මන්චි ආයතන‍ය පිරිනමන්නේ ව්‍යාපාරික වාසියක් වෙනුවෙන්ම නොව ජාතික වැදගත්කමක් සලකා බව සිලෝන් බිස්කට් ප්‍රධාන විධායක නලීන් කරුණාරත්න මහතා පැවැසීය.

“ශ්‍රී ලංකා වොලිබෝල් පිල ලෝක ශ්‍රේණිගත කිරීම්වල 78වැනි ස්ථානයේ සිටිනවා. 19න් පහළ පිල 23වැනි ස්ථානයේ ඉන්නේ. මේ තත්ත්වයෙන් තව තවත් ඉහළට එන්නේ කොහොමද කියා අප කල්පනා කළ යුතුයි. ඒ සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වොලිබෝල් ශූරතාවලියෙන් සොයා ගත හැකි බව අපේ විශ්වාසයයි. මේ වන විට ජාතික වොලිබෝල් ශූරතාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20000ක් පමණ ක්‍රීඩා කොට තිබෙනවා” කරුණාරත්න මහතා පැවැසීය.

ජාතික වොලිබෝල් ශූරතාවලියේ තරග කමිටු සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා හා ලේකම් නාලක ශාන්තසිරි මහතා ඇතුළු පිරිසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න