පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු | දිනමිණ

පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු

ප්‍රින්ස් ගුණසේකර

පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලියට හොඳින් මුහුණදීමට සැලැසුම් කොට ඇතැයි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් හා එක්දින නායක උපුල් තරංග පවසති.

ශ්‍රී ලංකා පිල පසුගිය කාලයේ ලැබූ අමිහිරි පරාජයන් අමතක කොට යොවුන් ක්‍රීඩකයන්ගේ ජවයෙන් ජයග්‍රහණ ලබා ගැනීමේ ස්ථීර අධිෂ්ඨානයක පසුවන බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එසේ සඳහන් කළේය.

“පළපුරුදු ක්‍රීඩකයන් දෙදෙනකු නැවැත ටෙස්ට් පිලට එක්ව සිටීම අපට ශක්තියක්. ඒ වගේම යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනකුම ටෙස්ට් පිලේ සිටිනවා. ඇන්ජලෝ මැතිව්ස් ආබාධායකට ලක්වීම අපට මහත් පාඩුවක්. එය කණ්ඩායමට සිදුවූ අවාසනාවන්ත අහිමිවීමක්. ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් ලැබුණානම් අපට විශාල ශක්තියක්. හොඳ සමබර කණ්ඩායමක් අපට සිටිනවා. ඒ නිසා සුභවාදීව පාකිස්තානයට එරෙහි තරගාවලියට මුහුණ දෙනවා” චන්දිමාල් පවැසීය.

පාකිස්තානය සමග ලබන මස 6වැනිදා ඩුබායී හීදී ආරම්භවන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීම ශ්‍රී ලංකා පිලට අලුත් අත්දැකීමක්වී තිබේ. ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග ඉතිහාසයේ මුහුණදෙන පළමු දිවා - රාත්‍රී ටෙස්ට් තරගය පාකිස්තානයට එරෙහිව මේ සංචාරයේදී ක්‍රියාත්මක වේ. ඒ සඳහා වෙනම රෝස පැහැති පන්දුවක් උපයෝගී කර ගැනේ.

“රෝස පැහැති පන්දුවෙන් අප මෙයට පෙර ක්‍රීඩා කොට තිබෙනවා. පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී අප ක්‍රීඩා කළේ රෝස පැහැති පන්දුවෙන්. ඒ නිසා අපට එය හුරුයි. අප දිවා - රාත්‍රී ටෙස්ට් තරගයට හොඳ සූදානමකින් හා කැමැත්තකින් පසු වෙනවා” චන්දිමාල් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳ සිතා මෙවර කණ්ඩායම නම් කළ බවයි. “අපේ අනාගත ක්‍රිකට් සැලසුම ඉදිරි දිනවල හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි මහතා සමග ඒ සැලසුම කෙලෙස ක්‍රියාත්මක වන්නේද කියා මාධ්‍යට හෙළි කිරීමට අප ඉක්මණින් කටයුතු කරනවා. ළහිරු තිරිමාන්නට උප නායකත්වය දුන්නේ ඔහු පළපුරුදු ක්‍රීඩකයෙක් නිසයි. කලක් ඔහු කණ්ඩායමේ නොසිටියත් දැන් ලකුණු අතර සිටිනවා. අප දැන් හිතන්නේ ඊළඟ වසර 2ක 4ක කාලයක ක්‍රිකට් පිළිබඳවයි” ගුරුසිංහ මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග ටෙස්ට් තරගවලින් මාස 6ක කාලයක් ඉවත්වූයේ එක්දින තරගවලට පූර්ණ අවධානය යොමු කිරීමේ අදහසින් බව සඳහන් කළේය. “මා ටෙස්ට් පිටියේ දැන් නෑ. ඉදිරියේ ටෙස්ට් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න මාස හයෙන් පසුව ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ එකම ඉලක්ක්ය 2019 ලෝක කුසලාන තරගාවලියයි. සියලු සැලසුම් මා කරන්නේ ඒ වෙනුවෙන් පමණයි” තරංග මාධ්‍ය හමුවේ පැවැසීය. 

 

නව අදහස දක්වන්න