සොයාගත් හදවත මරාගත් මහනුවර දොස්තරලා | දිනමිණ

සොයාගත් හදවත මරාගත් මහනුවර දොස්තරලා

අසේල කුරුළුවංශ

සැත්කම පසෙක තබා කඹ ඇදිල්ලක 

මහනුවර මහ රෝහලේ සිදු කිරීමට ගිය දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යය කර්මය සඳහා මොළය මියගිය අයෙකුගේ හදවතක් සූදානම් කර හදවත් බද්ධය සඳහා ලක්වීමට නියමිතව සිටි රෝගියාට අවශ්‍යය එන්නත් පවා ලබාදී තිබියදී වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුව ඇත.

අදාළ කඹ ඇදිල්ල හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුවීම නිසා මොළය මියගිය තරුණයාගේ සිරුරෙන් ඉවත් කර යන්ත්‍රයට සම්බන්ධ කර තිබූ හදවතට කළ රුධිර සැපයුම නතර කිරීමට සැත්කම සඳහා සූදානම්ව සිටි වෛද්‍යවරු පියවර ගෙන තිබෙන අතර ඉන් විනාඩි 30කට පසු එම හදවත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යය වී තිබේ.

පො‍ළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර පෙරේදා (21) රාත්‍රියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ මහනුවරට රැගෙන විත් තිබෙන අතර ඔහුගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත්කර යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වීමට සලස්වා රෝගී තරුණියගේ හදවත ඉවත් කිරීම සඳහා ඇයව සැත්කමට ලක් කිරීමට ගිය අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාගේ අවදානම බාර ගැනීමට නොහැකි බව දැනුම් දීමත් සමඟ සෙසු වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාද ඊයේ (22) සැත්කමට සම්බන්ධව සිටි වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසීමක් කර තිබේ.

මේ හේතුවෙන් සැත්කම සඳහා ලක්වීමට නියමිතව සිටි අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දි නැමැති දහනව හැවිරිදි තරුණියගේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙන අතර ඇගේ හදවතේ ක්‍රියාකාරීත්වය මේවන විට 10 % ක් පමණ අගයක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වෙයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙකු වන ආර්.එම් තරංග (26) නමැති අය යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය රෝගියකු බවට වෛද්‍යවරු නිර්දේශ කිරීමෙන් පසු ඔහුගේ අවයව බද්ධ කිරීම සඳහා ලබාදීමට ඥාතීන් කැමැත්ත පලකර තිබිණි.

එම පුද්ගලයාගේ හදවත ,වසර ගණනාවක සිට හදවත අකර්මණ්‍යය වීමේ රෝගයට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සචිනි සෙව්වන්දිගේ සිරුරේ රුධිර ගණවලට 100 % ක්ම ගැලපීම නිසා එය ඇයට බද්ධ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත.

පසුගිය ජූලි මස 07වැනි දින මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකෙරුණු මෙරට ප්‍රථම හදවත් බද්ධය සඳහා වෛද්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ සෙව්වන්දි නිසා වන අතර මුල් හදවත් බද්ධය සඳහා වෛද්‍යවරු ඇයව යොමුකර නැත්තේ එම අවස්ථාවේ මියගිය පුද්ගලයාගෙන් ලබාගත් හදවත ඇගේ ශරීරයට නොගැලපුණු බැවිනි.

මරණය සමඟ සටන් කරමින් පසුගිය මාර්තු මස සිට මහනුවර මහ රෝහ‍ලේ හදවතක් අපේක්ෂාවෙන් කල් ගෙවන තම දියණියට ගැලපෙන හදවතක් ලැබිලත් එය බද්ධ කිරීමට නොහැකි වූයේ වෛද්‍යවරුන්ගේ වරදින් නිසා බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර පවසයි.

හදිසි අනතුරකින් මියගිය තරංග නමැති හමුදා සෙබළාගේ වකුගඩු හා අග්න්‍යාශය රෝගීන් තිදෙනකුට මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදී විශේෂඥ ශල්‍යය වෛද්‍ය පී.කේ හරිශ්චන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බද්ධ කර රෝගීන් තිදෙනකුගේ ජීවත බේරාගෙන තිබේ.

ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි.

මගේ වැඩිමහල් දියණිය අවුරුදු 17 දී මියගියෙත් මේ රෝගයෙන් .දැන් දෙවැනි දුවටත් ඒ රෝගයම වැළදිලා.ජානමය තත්ත්වයක් හේතුවෙන් මේක වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.වෛද්‍යවරු ඉන්නේ ලෙඩ්ඩු මරන්න නොවෙයි.ජීවත් කරවන්නයි.මට දැන් මගේ දෙවැනි දුවත් අහිමි වෙයි කියලා බයක් දැනෙනවා යැයි මහේෂ් කුමාර පවසයි.

මේ සම්බන්ධව කළ විමසීමකදී නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය පැවසුවේ මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම පිළිබඳව තමන් කල්තියා දැන නොසිටි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා හදවත් බද්ධය සම්බන්ධව දුරකතනයෙන් දැනුම්දී තමන් කටයුතු කළ සෙසු සෙසු නිර්වින්දන වෛද්‍යවරු දැනුවත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ තමන් මෙය දැනගත් බවත්ය. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බවත් ඇය කීවාය.

මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. 

අදහස් 2ක් ඇත

Anith awayawa tika badda karala jiwitha bera genima gena bohoma suliwen thamai article eke dala thiyenne. Me arbudayata wagema a detath thenak dunna nam hodai.

Me lipiya liyu pudgalaya nodannaa dewal gana katha kireemen walakima wadaath sudusui.

නව අදහස දක්වන්න