ඉන්දියාවට ජය | දිනමිණ

ඉන්දියාවට ජය

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග කොල්කටාහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 50ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු ක්‍රිකට් පිල සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 252ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාවට ඕවර ඕවර 43.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.

මාර්කස් ස්ටෝයින්ස් නොදැවී ලකුණු 62ක් රැස්කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය සඳහා ගෙන යෑමට උත්සහ කළ එය අසාර්ථක විය. පන්දු 65ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය. නායක ස්ටීවන් ස්මිත් ලකුණු 59ක් ඉනිමට එක් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ බුවනේෂ්වර් කුමාර් ඕවර 6කදී ලකුණු 9කට කඩුලු 3ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් කුල්දීප් යාදව් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමද කැපී පෙනුණි. ඉනිමේ 33වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් මැතිව් වේඩ් (2) දවාගත් කුල්දීප් අනතුරුව ඇස්ටන් අගාර් (0) හා පැට් කමින්ස් (0) දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි ඉන්දියානුවා බවට පත්විය.

මින් පෙර චේතන් ශර්මා (1987) හා කපිල් දේවි (1991) ඉන්දියාව වෙනුවෙන් එක්දින පිටියේදී එවැනි දස්කමක් දක්වා තිබිණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් තරගයේ වීරයා වූ විරාට් කෝලි පන්දු 107කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 92ක් රැස් කිරීමට සමත් විය. අජින්ක්‍යා රහනේ ලකුණු 55ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී නේදන් කූල්ටර්නයිල් හා කේන් රිචඩ්සන් කඩුලු 3 බැගින් දවාගත්හ.

දෙපිල අතර තෙවැනි එක්දින තරගය හෙට (24) පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න