දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹ ස්ථාපිත කරනවා | දිනමිණ

දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹ ස්ථාපිත කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

බරපතල වංචා දූෂණ වල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව පවරන නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹ ස්ථාපිත කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

රුපියල් මිලියන පහකට වැඩි‍යෙන් වංචා කරන පුද්ගලයින්ට එරෙහිව නඩු නඩු විභාග කිරීමට හා අල්ලස් , වත්කම් , දූෂණ,කූඨ ලේඛණ සැකසීම , වංචාව, සාපරාධි සාවද්‍ය පරිහරණය ,හා සාපරාධි විශ්වාසය කඩකරන මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නඩු විභාගය සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත වියයුතු බව පැවසූ ඇමැතිවරයා අවම වශයෙන් මහාධිකරණ පහක්වත් අලුතෙන් ස්ථාපිත වියයුතු බවත් සදහන් කෙළේය.

අතීතයේ , අනාගතයේ සිදුකළ වංචා පමණක් නොව වර්තමානයේ කොමිෂන් පරික්ෂණයක් සිදුවන බැඳුම්කර සිද්ධියේ අපරාධමය වරදක් සිදුව ඇතිබවට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් එම නඩු විභාගයද මෙම විශේෂ අධිකරණ වල විභාග කළහැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

නියෝජ්‍ය ඇමැති අජිත් පි පෙරේරා මහතා මේ බව සඳහන් කෙළේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී ඊයේ (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

නෛතික කටයුතු ( දූෂණ විරෝධි) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අපරාධ යුක්තිය පසිඳලීමේ කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරිමට අදාළ නිර්දේශ ඇතුළත් කරමින් මේ වාර්තාව ඉදිරිපත් කර ඇත. ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ බරපතල අපරාධ නඩුවක් විභාග කර තීන්දුව ලබාදීමට වසර දහයකට අධික කාලයක් ගතවන බව පෙන්වාදුන් අජිත් පී පෙරේරා එම තින්දුවට එරෙහිව අභියාචනා විනිශ්චය කිරිමට තවත් වසර හතක් ගතවන බවත් පැවසීය.අපරාධ නඩුවක් වසර 17 ක් විභාග කර තීන්දු දීම බරපතල ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් හෙතෙම පැවැසීය.

කාරක සභාවේ නව යෝජනා අනුව විත්තිකරුවාටත් අපරාධ වින්දිතයාටත් හා රට වැසියාටත් සාධාරණ නඩු විභාගයක් ඉටුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.මේ ක්‍රියාදාමයට සමගාමිව මහාධිකරණ විනිසුරුවන් 75 සිට 110 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වාදුන්නේය. මේ අනුව අධිකරණ ඇමැතිවරිය විසින් පසුගිය 19 දින අධිකරණ සංවිධාන පනත අනුව විනිසුරුවන් දස දෙනෙකු මහාධිකරණ සඳහා බඳවා ගැනීමට සංශෝධනයන් ඉදිරිපත් කළබවත් පැවැසීය. 

නව අදහස දක්වන්න