බිම් මට්ටමේ ව්‍යාපාර දියුණුවට මූල්‍ය පදනමක් ඇති කරනවා | දිනමිණ

බිම් මට්ටමේ ව්‍යාපාර දියුණුවට මූල්‍ය පදනමක් ඇති කරනවා

බිම් මට්ටමේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ක්‍රමානුකූල මූල්‍ය පදනමක් ඇති කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

බිම් මට්ටමේ ව්‍යාපාර දියුණුවට සාර්ථකව මුදල් ආධාර ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බලා පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ සහ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ කොළඹ ගලදාරි හෝටලයේ පැවැති 2017 ආසියානු ණය දෙන සමිති සම්මේලනයේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

2017 ආසියානු ණය දෙන සමිති සම්මේලනය පසුගිය 19 වැනි දා සිට 21 වැනි දා දක්වා කොළඹ දී පැවැත් වුණ අතර, සණස එහි සත්කාරකත්වය දරයි. මේ සඳහා අමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ද ඇතුළුව රටවල් 23කින් නියෝජිතයන් 465කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. එහි නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර, කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙස් විදෙස් නියෝජිතයන් හමුවේ මෙසේ ද ප්‍රකාශ කළේය.

සණස ආරම්භ වන්නේ 1977 දී අප විවෘත ආර්ථිකයට පිවිසීමත් සමඟ. නිදහස් ආර්ථිකයේ වැඩි ප්‍රතිලාභ හිමි වූයේ ග්‍රාමීයවයි. අප විශාල, කුඩා මෙන්ම සංවිධානාත්මක ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැපයූවා. මෙතනදියි රජයේ පාලනය යටතේ රාජ්‍ය නොවන ණය සංගමයක් ලෙස සණස ආරම්භ වන්නේ. එය සාර්ථක ව්‍යාපාරයක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත වුණා. ව්‍යාපාරයට සමගාමීව ණය අංශයේ විශාල සේවයක් සිදු කිරීමට සණසට හැකි වුණා.

දකුණු ආසියානු ආර්ථිකය වෙළෙඳ පොළ ආර්ථිකයට පිවිසීමත් සමඟ සංවිධාන ව්‍යාපාරවලට මුදල් සැපයීමට, ණය සැපයීමට ඔබට සිදු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔබ විශාල ව්‍යාපාරවලට පමණක් මුදල් යොමු කළ යුතු බව. ඔබ වෙළෙ‍ඳ පොළ ආර්ථිකයට සරිලන ලෙස නමුත් විශාල පරිමාණ, මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාපාර සීමා කර තිබෙනවා නම්, ඔබ කිසිසේත්ම සාර්ථක වන්නේ නෑ. එසේ නම් වටහා ගත යුතුයි එම සේවා සිදු විය යුතුම තැන කොතැනද කියා.

අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟන්නේ බිම් මට්ටමේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමෙනුයි. ආර්ථිකයක් ශක්තිමත් වීමට නම්, ආර්ථිකයක් දියුණු වීමට නම් පාරිභොගිකයන් විශාල සංඛ්‍යාවක් සිටිය යුතුයි. රාජ්‍ය අංශයේ සේවය කිරීමෙන් පමණක්, පුද්ගලික අංශයේ සේවය කිරීමෙන් පමණක් ඒ අරමුණ ඉෂ්ට වන්නේ නෑ. රජයේ සේවය මෙන්ම පුද්ගලික සේවයත් අවශ්‍යයයි. විදේශ රැකියාත් අවශ්‍යයයි. ඒ වගේම බිම් මට්ටමේ සාර්ථක ව්‍යාපාරිකයනුත් අවශ්‍යයයි.

අද අපගේ අවධානය යොමුව ඇත්තේ ඒ වෙතයි. ආර්ථිකයක් දියුණු වෙන්න, දියුණු වෙන්න අලුත් ආදායම් මාර්ග තිබිය යුතුයි. තමන්ගේ ගමේ සිට ව්‍යාපාර කරනවා නම් එයත් සාර්ථක කාර්යයක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ජාතික රජයේ මූලික අරමුණක් වී ඇත්තේ, ක්‍රියා කරන්නේ ගම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. බිම් මට්ටමේ ව්‍යාපාරිකයාත් ඒ වගේම ශක්තිමත් කරන්න. නගරයේ ඒ ඒ කොට්ඨාසවල ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ බිම් මට්ටමේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට. ඒ සඳහා තමයි අද රජයේ බැංකු තුළින්, සණස වැනි ආයතන තුළින් විශාල මුදලක් ලබා දෙන්නේ.

ගම් මට්ටමින් අපට කළ හැකි වැඩ සටහන් ගණනාවක් තිබෙනවා. සාර්ථක විය හැකි වැඩ සටහන් ගණනාවක් තිබෙනවා. මුල්‍ය ආධාර ලබා ගන්නට විශේෂයෙන් කොටස් තුනක් වෙන් කර තිබෙනවා. ඒ විශාල පරිමාණයේ ව්‍යාපාර, මධ්‍යම හා කුඩා පරිමාණයේ ව්‍යාපාර හා බිම් මට්ටමේ ව්‍යාපාර ලෙසින්.

මේවා සංසන්දනය කළ විට තවමත් රජයට පෙනෙන හැටියට මධ්‍යම හා කුඩා පරිමාණයේ ව්‍යාපාරවලටත්, බිම් මට්ටමේ ව්‍යාපාරවලටත් ලැබෙන මූල්‍ය ප්‍රමාණවත් නෑ. ඒ නිසා එන අය-වැයේ සිට බැංකුවලට තම මූල්‍ය ආධාරවලින් කොටසක්, අවම කොටසක් මේ අංශ දෙකට වෙන් කරන ලෙස අප ක්‍රියා කර ගෙන යනවා.

බැංකු තිබෙන්නේ විශාල ව්‍යාපාරවලට පමණක් නෙවෙයි. බැංකුවල කොටස් වටිනාකම ආරක්ෂා කරන අතරම බැංකුවේ දියුණුවට මධ්‍යම පරිමාණ, කුඩා පරිමාණ වගේම බිම් මට්ටමේ ව්‍යාපාර තිබිය යුතුයි. ඒ මුදල් ලබා දිය යුතුයි. ඒ නිසා මගේ අවධානය යොමු වී තිබෙන්නේ අපිට මේ කටයුත්ත කර ගැනීමට, අපගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර නීති සම්මත කර ගැනීමටයි.

මේ තිබෙන ව්‍යාපාර දෙස බැලූ විට, සණස වැනි ව්‍යාපාර ලබා දෙන මුදල්, රජයේ බැංකුවලින් ලබා දෙන මුදල් හැරුණම පුද්ගලික බැංකුවෙන් ලබා දෙන්නේ කුඩා ප්‍රමාණයක්. එතැනට තමයි අපගේ අවධානය යොමු වන්නේ. බැංකුවලට පුද්ගලික බැංකුවලින් ලබා දෙන මුදල්. ඊට අමතරව අප අලුත් ක්‍රමයක් ආරම්භ කළා ‘ස්වශක්ති' ක්‍රමය. මම පුදුම වුණා තරුණ මෙන්ම වැඩිහිටියන් රජයේ විමධ්‍යගත අය-වැයවලින් ලබා දෙන ආධාරවලින් කරන විවිධ මට්ටමේ ව්‍යාපාර පිළිබඳ.

අපි බලන්නේ රාජ්‍ය අංශයත්, විශේෂයෙන්ම සණස වැනි රාජ්‍ය නොවන අංශයත්, පුද්ගලික අංශයත් එක් කර ගෙන මීට වැඩිය ක්‍රමාණුකූල මූල්‍ය පදනමක් ඇති කර ගැනීමටයි. අප එතැනට සීමා වන්නේ නෑ. අපේ අවසන් අරමුණ වී තිබෙන්නේ බිම් මට්ටමේ ව්‍යාපාර දියුණුවට කොහොමද සාර්ථකව මුදල් ආධාර ලබා දෙන්නේ කියන එක. එසේම තිබෙන ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ සහ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් තමයි සියල්ල ක්‍රියාත්මක කරන්නේ.

මෙහි දී අදහස් දැක් වූ සණස නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා,

‘අද මේ අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40 වසර සමරනු ලැබුවා. එතුමා වෙත අප කරන ලද ඉතා කෙටි ආරාධනයක් මත, වෙනත් කටයුත්තක් අවලංගු කර මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ගෞරවයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1977 වසරේ දී. සණස ආරම්භ වන්නේ 1978 වසරේ දීයි. 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ අපට අවස්ථාව ලැබෙනවා මේ සමාජයට සේවය කිරීමට. අද අපගේ ගමන් මඟ දෙස බලන විට එහි වැදගත්කම පැහැදිලි වෙයි. අග්‍රාමාත්‍යවරයාගේ 40 වසරක දේශපාලන දිවිය තුළ සිවු වරක් මෙරට අගමැතිවරයා‍ ලෙස කටයුතු කළා. එය අපට සම්බන්ධ වන්නේ මේ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ සිවු වැනි වතාවටයි. ඔබ නවෝත්පාදන මත වඩාත් විශ්වාසය තබනවා. අපට නවෝත්පාදන සිදු කළ හැකියි. මේ තමයි දේශීය මෙන්ම ජාත්‍යන්තර සමාජයට සණස ලබා දෙන උදාහරණය. ඔබගේ සහභාගීත්වය අපගේ ගමනට මහත් ධෛර්යයක්’ බව පැවැසීය.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප - සමන් මෙන්ඩිස් 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...