නිවාස ප්‍රශ්න විසැඳීමේදි ජාති ආගම් කුල භේද තකන්නේ නෑ | දිනමිණ

නිවාස ප්‍රශ්න විසැඳීමේදි ජාති ආගම් කුල භේද තකන්නේ නෑ

ආශ්චර්යවත් යුගයක් බව කියන පසුගිය කාලයේ සිද්ධ වුණේ අසරණ ජනතාවට නිවාස ලබා දීම වෙනුවට රටේ පාලකයන් තමන්ට මාළිගා සාදා ගැනීමයි. යහපාලන රජයේ ජනපති, අගමැති ප්‍රමුඛ අප කටයුතු කරන්නේ අපට නොව ඔබට මන්දිර ඉදිකර දීමටයි. අපේ අරමුණ ඔබේ සිතේ තිබෙන සිහින මාළිගාව යථාර්ථයක් කිරීම යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය .

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘වල්ලුවර් කෝට්ටම්’උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමිනි.

යහපාලන රජය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආරම්භ කළ යළි පිබිදුනු ගම් උදාව වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 36 වන උදා ගම්මානය ‘වල්ලුවර් කෝට්ටම්’ ගම්මානයයි. අද දිනයේ මෙහි පැමිණ එය ජනතා අයිතියට පත්කිරීමට ලැබීම ගැන මා බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම් ප්‍රදේශයේයි.

රජයක් ලෙස අප මෙරට නිවාස ප්‍රශ්නය විසඳීමට මුල්තැන ලබාදී සුවිශාල වු නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එවැනි මොහොතක ජාති ආගම් කුලමල පක්ෂ භේදයකින් තොරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිටින ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට හැකිවීම පිළිබඳව මා සතුටු වෙනවා.

දෙමළ ප්‍රජාවට ඉතා වැදගත් වු සාහිත්‍ය ග්‍රන්ථයක් වන ‘තිරුක්කුරල්’ ග්‍රන්ථයේ රචකයා වන්නේ ‘තිරුවල්ලුවර්’ තුමායි. එතුමා මීට වසර 2,000 කට පමණ පෙර එනම්, ක්‍රිස්තු පූර්ව 300 - 600 ත් අතර වත්මන් චෙන්නයිහි මයිලපූර් කියන ගම්මානයේ උපත ලැබුවා. වල්ලුවර්තුමා ‘තිරුක්කුරල්’ ග්‍රන්ථය හරහා ජන සමාජයේ හැසිරීම් රටාව, ජන සමාජය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන් පිළිබඳව වැදගත් වූ අදහස් රැසක් ඉදිරිපත් කොට තිබෙනවා. එතුමාට කරන උපහාරයක් ලෙසත්, එතුමාගේ ශ්‍රී නාමයට කරන ගෞරවයක් ලෙසත් මෙම ගම්මානය ‘වල්ලුවර් කෝට්ටම්’ ලෙස අප නම් කළා.

අද දින මෙම ගම්මානයේ නව නිවාස විසිපහක් අංග සම්පූර්ණව ඉදිකර ඉඩම් හා නිවාස නොමැති පවුල් 25 කට ලබා දෙනවා. රුපියල් 375,000 ක් වැය කර සෑම නිවසකටම පානීය ජලය, රුපියල් ලක්ෂ 20 ක් වැය කර විදුලිය ලබා දී තිබෙනවා. රුපියල් ලක්ෂ තුනක් වැය කර අභ්‍යන්තර මාර්ග සහ තවත් රුපියල් ලක්ෂ 2 ක් වැය කර ප්‍රවේශ මාර්ගය සකස් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 507 ක් වැය කර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 507 කට ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා.

තවත් රුපියල් ලක්ෂ 45 ක් වැය කර ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 118 දෙනෙකුට වටිනා වෘත්තිය උපකරණ කට්ටල, පොත් කට්ටල හා නිල ඇඳුම් ලබා දෙනවා. ඔවුන්ට මාස තුනක් යනතුරු රුපියල් 10,000 ක පුහුණු දීමනාවක්ද ලබා දෙනවා. ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික ආදී ජංගම සේවාවන් රැසක්ද අද දින මෙහි ක්‍රියාත්මකයි. මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 278 ක පමණ මුදලක් අප වැය කර තිබෙනවා. 36 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ මේවායි. අප මේ සියල්ල සිදු කරන්නේ ජාති, කුලමල, පක්ෂ, පංති භේදයකින් තොරවයි.

විරුද්ධවාදීන් දැන් ‘කෝ වෙනස’ කියා රටේ ජනතාවගෙන් ප්‍රශ්න කරනවා. රටේ සංවර්ධනයක් සිදු වන්නේ නැහැ කියා කියනවා. පසුගිය රජය සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේම ඉදිකළේ ගම්මාන හයක් පමණයි. අප අවුරුදු දෙකක් ගත වීමටත් පෙර මෙම දිස්ත්‍රික්කයේ උදා ගම්මාන 21 ක් හදනවා. පසුගිය ආණ්ඩුව මෙම දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 107 ක් වියදම් කරන විට අද දින යහපාලන රජය රුපියල් මිලියන 300 කට වැඩි ප්‍රතිලාභ මෙහි ජනතාවට ලබා දෙන බව මා සතුටින් යුතුව ප්‍රකාශ කරනවා. අද වන විට මුළු රට පුරා උදා ගම්මාන 439 ක් ඉදිවෙමින් පවතිනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500 ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර රට පුරා උදා ගම්මාන 2,000 ක් අප ඉදි කරන බව විරුද්ධවාදීන්ට මා කියන්නට කැමතියි.

පසුගිය රජයේ නිවාස ඇමතිවරයා මෙම ප්‍රදේශයට එද්දි වාහන කීයක් පසුපසින් එනවද? පොලිස් නිළධාරීන් කීදෙනෙක් එනවද? අද මා පැමිණියේ රජයේ වාහනයකින් නොවෙයි. වාහනයට ඉන්ධන ලබා ගන්නේ රජයේ මුදලින් නොවෙයි. මාත් සමඟ පැමිණියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් පමණයි. ඒ ගැන ඔබට අපේ අමාත්‍යංශයෙන්ම විමසා දැන ගන්නට පුළුවන්. අපට විවිධ දීමනා වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ 4 ක් පමණ රජයෙන් ලැබෙනවා. ඒ කිසිවක් මා ලබා ගන්නේ නැහැ. මා ඒ මුදල් රටේ ජනතාවට නිවාස සෑදීම පිණිස මාගේ පියා ආරම්භ කළ ‘සෙවණ’ අරමුදලේ තැන්පත් කරනවා. පසුගිය රජයේ සිටි නිවාස ඇමතිවරයා සහ යහපාලන රජයේ සිටින නිවාස ඇමතිවරයා අතර වෙනස මෙයයි.

අප කටයුතු කරන්නේ අපට ඡන්දය ලබා දුන් ජනතාවගේ ගෞරවය රැකෙන පරිදියි. අප දූෂණය, වංචාව, හොරකම, පගාව ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්නේ නැහැ. අප අවංකව රටේ ජනතාවගේ පැතුම ඉටු කරනවා. අප 24 පැයම රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා. රටේ සංවර්ධනයේ නියමුවා ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ කටයුතු කරමින් සිටිනවා.

සියවසේ වඩාත්ම හාස්‍යජනක ප්‍රකාශය ඊයේ දිනයේ හිටපු රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. යහපාලන රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ බවත්, රජය ඡන්ද කල් දමන බවත් එතුමා ප්‍රකාශ කරනවා. අද මෙසේ ප්‍රකාශ කරන්නේ පසුගිය පාලන සමයේ සුදුවෑන් සංස්කෘතියේ නිර්මාතෘ, මාධ්‍යවේදීන් ඝාතනය කළ යුගයේ ප්‍රධානියා සහ ජලය හා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීමට අණකළ මහ මොළකරු වන හිටපු ජනාධිපතිවරයායි.

පළාත් සභා මැතිවරණය එක දිනයක පවත්වන්නට එපා යනුවෙන්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ප්‍රකාශ කර තිබෙනවා. එතුමාගේ කාලයේදී සිදුකළේ කුමක්ද? පළාත් සභා මැතිවරණ කොටසින් කොටස පවත්වා ඒ සඳහා ආරක්ෂක හමුදාව, තම ගෝල බාලයින් සහ ගජ මිතුරු සංගම් යොදාගෙන, භාණ්ඩාගාරයේ මුදල්ද භාවිතා කරමින් ඡන්ද ජය ගැනීමයි. පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයක තැබීමේ වරද කුමක්ද? එදා වගේ අද රාජ්‍ය බලය යොදවා මැතිවරණ ජයගන්නට බැහැ. අද ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ඒනිසා මැතිවරණ සඳහා අපට ඇඟිලි ගැසීමට බැහැ. අප කියන දේ කරනවා. කරන දේ කියනවා. එදා ක්‍රියාත්මක වු ‘යමපාලනයේ’ සහ අද ක්‍රියාත්මක වන ‘යහපාලනයේ’ වෙනස මෙයයි.

සති 2 ක් තුළ මෙම නිවාසවල පදිංචි වන ලෙස මා නිවාස ලබා දුන් පවුල් 25 ට කියන්න කැමතියි. එසේ නොමැති නම් මේවා නිවාස නොමැති වෙනත් පවුල් වලට ලබා දීමට අපට සිදුවනවා. මාස 2 ක් යනවිට මෙම ගෙවතුවල වගා කටයුතු සිදු කර තිබෙන්නට ඕනෑ. ඒ සඳහා ආධාර උපකාර අප ලබා දෙනවා. මෙම ගම්මානයේ සෑම නිවසක්ම කේන්ද්‍ර කර ගනිමින් ආහාර සුරක්ෂිතභාවය, පරිසර සංරක්ෂණය හා කසළ කළමණාකරණය, වකුගඩු රෝග නිවාරණය සහ මත්ද්‍රව්‍ය නිවාරණය යනාදී කාර්යයන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායන් හතරක් ක්‍රියාත්මක වනවා. එමෙන්ම මේ සෑම නිවසක්ම ඉලක්ක කර ගෙන ස්වයං රැකියා වැඩසටහනක්ද අප ක්‍රියාත්මක කරනවා. අප මේ සියල්ල සිදු කරන්නේ ඡන්ද හෝ තනතුරු බලාගෙන නොවෙයි. මා අනාගත දේශපාලන සැළසුම් බලාගෙන කටයුතු කරන්නේ නැති බවත් ඔබට කියන්නට කැමතියි.

නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල

නව අදහස දක්වන්න