කැලණියේ මන්ත්‍රීවරු එකට එක්වී සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරති | දිනමිණ

කැලණියේ මන්ත්‍රීවරු එකට එක්වී සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරති

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, නීතිඥ සිසිර ජයකොඩි, පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා යන මහත්වරුන් එකට එක්වී කැලණියේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම රටට දුන් අපූර්වතම ආදර්ශයක් බව බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

හෙතෙම මේ අදහස් ප්‍රකාශ කර සිටියේ කැලණිය වනවාසල හා හුණුපිටිය ප්‍රදේශවල ඉදිකර තිබූ ආදාහනාගාර දෙකක් විවෘත කිරීමේ උත්සව සභාවකදීය.

ඇමැති සරත් ෆොන්සේකා, මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, යූ. ජෝර්ජ් පෙරේරා යන මහතුන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ ඇමැතිවරයා මෙසේ ද කීය.

මා මහ ඇමැති ධුරයට පත්වූ විගසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසුවේ එදා අපේ රජයෙන් ඇතිකළ සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ජනාත අයිතියට පත්කර නොමැති හෙයින්, වහාම ඒවා ජනතා අයිතියට පත්කර දෙන ලෙසයි.එතුමා මට උපදෙස් දුන්නේ ඒ ඒ ප්‍රදේශයන්හි සියලුම දේශපාලනඥයන් ද රැස්කොටගෙන මේවා විවෘත කර දෙන ලෙසයි. මේ සිදුවූයේ ද එවැනි ක්‍රියාවක්.

එහෙත් මෙහි අපූර්ව විශේෂත්වයක් තබෙනවා. පක්ෂ, විපක්ෂ ඇමැතිවරුන්, එකට එක්ව මෙය විවෘත කිරීම රටට ලබා දුන් කදිම ආදර්ශයක්. අවශ්‍ය නම් මේ උත්සවය ද ආන්දෝලනාත්මක උත්සවයක් ලෙස ගැටුමක් ඇතිකර, වාද විවාද කර, අසමඟියෙන් විවෘත කිරීමේ හැකියාව ද තිබුණා.

එසේ වී නම් එය මාධ්‍යයට ද රසවත් පුවතක් වීමට ඉඩ තිබුණි. දේශපාලනයේදී අප විසින් ජනතාවට දිය යුතු පණිවුඩය මෙයයි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මගේ ගෞරවයක් තිබෙනවා. එතුමා යුද්ධයට නායකත්වය දුන්නා. දේශපාලන ගමනේදී එතුමා තුළින් ගැටුම් ඇතිවීම කනගාටුවට කරුණක්.

අද දින විවෘත වන මෙම වනවාසල හා හුණුපිටිය ආදාහනාගාර ඇතිකළේ එවකට කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර මහතායි. මේවා යහපත් ක්‍රියාවන්. දේශපාලන භේදයෙන් තොරව ඒවා ජනතා අයිතියට පත්කිරීම ඊටත් වඩා යහපත් ක්‍රියාවක්.

අද දේශපාලන ගමන අප කැමති හෝ අකමැති වුවද යම් වෙනසකට භාජ‍නය වී තිබේ. දේශපාලන පක්ෂ දෙකක් එකට එකතුව ජාතික රජයක් බිහිකර ‍තිබෙනවා.

කැලණියේ දේශපාලන වැඩට එතුමා පරිපූර්ණ නායකයෙක්. මේ අනුව එතුමා සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ද කැටුව මෙය විවෘත කිරීම ආශ්චර්යක්.

මැතිවරණයකදී වෙනම තරග කළද සංවර්ධනයේදී අප එකට සිට කටයුතු කළ යුතුයි.

මේ සඳහා කැලණිය ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගි වූහ.

මෙහිදී කැලණිය ප්‍රාදේශීය සභා ලේකම් කේ. එච්. කපිල කුමාර මහතා ස්තූති කතාව සිදු කළේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...