මෙහෙණිවරියනගේ කුන්ෆු වික්‍රම | දිනමිණ

මෙහෙණිවරියනගේ කුන්ෆු වික්‍රම

කලබලකාරී නාගරීකරණයෙන් ඈත්ව, ස්වභාවධර්මයට ආවේණික නිසංසලත්වයත්, සාමකාමීත්වයත් කැටිකර ගත් හිමාල අඩවියේ පිහිටි එක්තරා ගම්මානයකි. කිසිදා වයසට යාමක් නැති, කාලය නතරව ඇති බවක් හැඟෙන ‘හෙමිස්‘ නම්වූ මෙම ගම්මානයේ නිහඬ නිසංසලත්වය දෙබෑ කරමින් නැඟී එන සටන්කාමී රාවයකි. ලිහිල් පහසු ඇඳුමින් සැරසුණු, වයස අවුරුදු තිස් පහ නොඉක්මවූ කාන්තාවන් සියයකට ආසන්න පිරිසක් ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු වන්නෝය. ඔවුන්ව පුහුණු කරවන්නේ කළුපටිධාරි කාන්තාවන් පිරිසක් විසිනි. විශේෂත්වය වන්නේ මෙම පුහුණකාරිනියන් වසර දහසක් පැරණි බෞද්ධාගමික නිකායක තාපසිකාවන් වීමයි.

ගෝලීය වශයෙන් විසිරී සිටින සාමාජික තාපසිකාවන් හත්සියකකට ආසන්න සංඛ්‍යාවකට සීමිතවූ ‘ඩ්‍රරුක්පා නිකාය‘, පුරුෂ කේන්ද්‍රීය බෞද්ධාගමික තාපස නිකාය පද්ධතියට අයත් එකම කාන්තා නිකායයි. සම්ප්‍රදායානුකූලව තාපසිකාවන්ට එතෙක් පැවරී තිබුණු වගකීම්වලින් බැහැරව, කුන්ග්ෆු නමැති ආත්මාරක්ෂක සටන්ක්‍රම පුහුණු වීමට ඔවුන් දිරිගන්වනු ලැබුවේ මීට වසර දහයකට පෙරයි. ඒ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව බෙහෙවින් අගය කොට සැලකූ ගරු ‘ග්යැල්වැන්ග් ඩ්‍රරුක්පා‘ හිමියන් විසිනි.

සිය මවගෙන් ලද අනුශාසනාවන් අනුව යමින් තාපසිකාවන්ටද නායකත්ව භූමිකා පවරා දී ආත්මාරක්ෂක සටන්ක්‍රම පමණක් නොව වෙදකම, ජලනළ හා විදුලි කාර්මික ශිල්පය වැනි එදිනෙදා ජීවිතයට වැදගත් ශිල්පීය නිපුණතා ලබා ගැනීමටද මෙම තාපසිකාවන් පෙළඹ වූයේ එතුමන් විසිනි. මේ නිසා තවදුරටත් ඩ්‍රරුක්පා තාපසිකාවන් දවස මුළුල්ලේම භාවනානුයෝගීව වැඩසිටින අක්‍රීය පිරිසක් වන්නේ නැත. විශේෂයෙන්ම ඔවුන් වෙසෙන නේපාලයේ හා ඉන්දියාවේ ජන ප්‍රජාව අතර ක්‍රියාකාරී සේවයේ නිරත වන ඩ්‍රරුක්පා තාපසිකාවන්ගේ සේවයේ වටිනාකම කාටත් ප්‍රත්‍යක්ෂ වූ අවස්ථාවක් වූයේ 2015අප්‍රේල් මාසයේ නේපාලයේ හටගත් භූමිකම්පාවයි. ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශයෙන් බැහැරවීම පවා ප්‍රතික්ෂේප‍ කළ මෙම තාපසිකාවෝ විපතට පත් ජනතාවට සහන සේවා සැපයීමට කැපවුවෝය. සුන්බුන්වලින් අවහිරවූ කඳු පල්ලම් ඔස්සේ දුෂ්කර ගමනක නිරත වෙමින් සුන්බුන් ඉවත් කිරීමටත්, විපතට පත්වූවන්ට වෛද්‍යාධාර හා ආහාර සැපයීමෙහිලාත් ඔවුන් කැපවුයේ ජීවිත අවධානම පවා නොතකා ය. ඩ්‍රරුප්කා තාපසිකාවන් සමඟ එක්ව නොදියුණු හිමාල ජනපද වැසියන්ට සේවය සපයන ‘Live to love’ ජාත්‍යන්තර සුබසාධන සංගමයේ සභාපතිනි, ‘කැරී ලී‘ පවසන ආකාරයට හිමාල අඩවියේ වීරවරියන් වන්නේ මෙම කුන්ග්ෆු තාපසිකාවන්ය. කොටින්ම භූමිකම්පා, සැඩ කුණාටු හා ජල ගැලීම් වැනි බිහිසුණු ස්වභාවික උපද්‍රවයන්ට පවා ඔවුන්ගේ සේවයට බාධා කිරිමට හැකියාවක් නැති බව කැරී පවසන්නීය.

එවන් අමිල වූ සමාජ සේවයක ස්වෙච්ඡාවෙන් නිරත වන මෙම ඩ්‍රරුප්කා තාපසිකාවන් මෑතක සිට සිය පරෝපකාර සේවය නවමු මාවතකට යොමුකර තිබේ. ඒ ග්‍රාමීය කාන්තාවන්ට ආත්මාරක්ෂක ‘කුන්ග් ෆු‘ සටන් ක්‍රම පුහුණුව ලබා දෙමිනි. ඉන්දියාවේ දිනෙන් දින ඉහළ යන කාන්තා හිංසන, ලිංගික අපචාර හා ස්ත්‍රී දුෂණ හමුවේ ඊට එරෙහිව නැඟී සිටීමටත්, සිය ආරක්ෂාව සලසා ගැනීමටත් අවශ්‍ය පුහුණුව කාන්තාවන්ට ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. වැඩසටහන සම්බන්ධ එක් පුහුණුකාරිනියක වන ‘ජිග්මි යෙෂී හාමෝ‘ තාපසිකාතුමියට අනුව ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් වයස අවුරුදු 13 – 28 දක්වාවු කාන්තාවන් සියදෙනකු මෙම වැඩසටහන යටතේ පුහුණුව ලබා ඇත.

“දිනපතා උදෑසන 6.00 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වෙන ආත්මාරක්ෂක පුහුණු සැසි අතිශය වෙහෙසකරයි. නමුත් ඒ අවසානයේදි ලැබෙන පුහුණුව ඕනෑම අතවරයකින් ආරක්ෂා වීමට අපිට හැකියාව ලබාදෙනවා පමණක් නොවෙයි ආත්ම විශ්වාසයත් වර්ධනය කරනවා. මම නම් හිතන්නේ හැම කාන්තාවක්ම කුන්ග් ෆු සටන් කලාව ඉගෙන ගත යුතුයි කියලයි“ එලෙස කියන්නේ පුහුණූව සම්පූර්ණ කළ විසිතුන් හැවිරිදි ශිෂ්‍යාවක වන සෙරින් යැන්ග්චෙන් ය.

ඉන්දීය ජාතික අපරාධ වාර්තාවලට අනුව 2015 වසරේදි වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව තිස් හතර දහස් හයසිය පනස් එකකි. ඒසෑම පැයකටම දූෂණ හතරක් බැගින් වන පරිදිය. ඊට අමතරව ලිංගික අතවර සිදුවීම් අසු දෙදහස් හාරසිය විසි දෙකක් වාර්තා වී තිබිණි. සමාජයෙන් හා පවුලෙන් එල්ල විය හැකි තර්ජන ගර්ජනයන්ට ඇති බිය හේතුවෙන් නීතිය ඉදිරියට යාමෙන් වැළකුණු සිදුවිම් මෙම අගයන්ට ඇතුළත් වන්නේ නැත. එබදු වාතාවරණයකදී කුන්ග්ෆු තාපසිකාවන් ස්වේච්ඡාවෙන්ම කිසිවකුගේ මැදිහත්වීමකින් තොරව මේ නියැලී සිටින්නේ අතිශයින්ම කාලෝචිත සමාජ මෙහෙවරක බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න