ට්‍රැවිස්ගේ වැට බිඳින්න ඉන්දීය බෝට්ටු පස්ස ගහයි | දිනමිණ

ට්‍රැවිස්ගේ වැට බිඳින්න ඉන්දීය බෝට්ටු පස්ස ගහයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ.
 
ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වන ඔහු අදාළ ධූරයේ දිවුරුම්දෙනු ලැබුවේ පසුගිය (2017) අගෝස්තු 18 වැනිදා වන අතර ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ ඉකුත් අගෝස්තු 22 වැනිදාය.
 
වැඩ භාරගැනීමෙන් පසුව ගෙවා දැමුණු ඉකුත් මාසයේදී ඔහු නව ක්‍රියාන්විත හරහා ඉන්ධීය ධීවරයන් විසින් ලාංකීය මුහුද ආක්‍රමණය කිරීම 90%ක් පමණ අඩු කිරීමට සමත්ව ඇති බව නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ඉකුත් මාසවලදී ඉන්දීය ධීවර යාත්‍රා 500ත් 600ත් අතර ප්‍රමාණයක් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කර ඇතත් නව ආරක්ෂක වැඩසටහන හේතුවෙන් මේවන විට පසුගිය මාසයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවර බෝට්ටු 6ක් පමණක් බව පැවසේ.
 
කවුද මේ සින්නයියා !
 
වයිස් අද්මිරාල් ට්‍රැවිස් ජෙරම් ලියන්දුරු සින්නයියා මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශාන්ත ජොසෆ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 
 
ඔහු 1982 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින නාවික හමුදාවට එක්ව ඇති අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලබා ඇත. 
 
1984 වර්ෂයේ දී නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිය මූලික පුහුණුව නිමා කිරීමෙන් අනතුරුව 1986 වර්ෂය දක්වා බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨය වෙත ඇතුළත් වීමට වරම් හිමි කර ගන්නා ලද්දේ මෙරටදී දක්වන ලද දක්ෂතා හේතුවෙනි. 
 
මෙම පුහුණු කාලය තුළදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් ඇතුළු නෞකා රාශියක පුහුණු අත්දැකීම් ලබා ගැනීමට ද ඔහුට අවස්ථාව උදා වී ඇත.   
 
සංග්‍රාමික කටයුතු සඳහා දක්ෂ නිලධාරියෙකු වන වයිස් අද්මිරාල් සින්නයියා මහතා, එහිදී දක්වන ලද නිර්භීතභාවය සහ වීරෝධාරත්වය හේතුවෙන් පදක්කම් රාශියක් දිනාගෙන ඇත. 
 
තවද LTTE ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමේ ක්‍රියාන්විතයේදී නාවික කාර්යය සාධක බලකායට නායකත්වය ලබා දුන්නේ ද ඔහුය. ‘සාගර බලය’ වශයෙන් ඇරඹි එම ක්‍රියාන්විතය LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය වශයෙන් සඳහන් කළ හැකිය. 
 
ඔහුගේ අණ‍දීම යටතේ LTTE ඉලක්ක 37 ක් සාර්ථක ලෙස විනාශ කිරීමට හැකියාව ලැබී ඇති අතර, වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අණදෙන කාල සීමාව තුළදී සතුරු ඉලක්ක 70 ක් සාර්ථක ලෙස විනාශ කිරීමට සමත්ව තිබේ. එමෙන්ම, ‘කඩල්පුරා’ නෞකාව LTTE මුහුදු කලු කොටි සාමාජිකයින් 19 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමේ සුප්‍රසිද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ ද ඔහුගේ නායකත්වය යටතේය. 
 
මෙහිදී, LTTE ත්‍රස්තවාදීන්ගේ ඉහළ පෙලේ නායකයන් ඇතුළු තවත් LTTE මැද පෙළ මුහුදු කොටි සාමාජිකයන් 09 දෙනෙකු ද අත්අඩංගුවට පත් විය. 
 
යුධමය තත්ත්වයන් පැවති කාල වකවානුවේදී සක්‍රීය මෙහෙයුම් සඳහා දායක වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ද මොහුය. එම මෙහෙයුම් වලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් එවකට කොමදෝරු නිලයේ පසු වූ එතුමන්, රියර් අද්මිරාල් තනතුර දක්වා ක්ෂේත්‍ර උසස් වීමක් සඳහා ද නිර්දේශ වී තිබුණි. 
 
සංග්‍රාමික මෙහෙයුම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවත්ව සිටියදී රණවිරුවෙකුට හිමි වන උසස්ම පදක්කම වන වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබීමට ද මෙතුමා සමත් වී ඇත.  
 
එසේම, සතුරා හමුවේ ප්‍රදර්ශණය කරන ලද නිර්භීත බව හා සුවිශේෂී වීරත්වය හේතුවෙන් රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කම තෙවරක් දිනා ගැනීම ද මොහුගේ රණගූරත්වය මැනවින් පිළිඹිබු කෙරෙන සාක්ෂි වේ. තවද, ඔහු විසින් දිනාගෙන ඇති අනෙකුත් පදක්කම් අතර උත්තම සේවා පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම් සහ සන්ධාරය, ශ්‍රී ලංකා දීර්ඝ සේවා පදක්කම සහ සන්ධාරය, පූර්ණභූමි පදක්කම, උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් සහ සන්ධාර ඒ අතර විශේෂ වේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ විධායක අංශයේ සිටින ඉදිරි පෙළ නිලධාරියෙකු වන වයිස් අද්මිරාල් සින්නයියා මහතා, නාවික හමුදවේ සියළුම බළඝණයන් හි සේවය කර ඇත. ඒ අතරින්, ධජ නිලධාරී නාවික දියත් විධානය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හා ආඥාපති, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති යන තනතුරු ප්‍රධාන වේ. එමෙන්ම, නැගෙනහිර, උතුරු සහ වයඹ යන නාවික විධානයන් හි නියෝජ්‍ය ආඥාපති වරයා වශයෙන් ද තම වගකීම මැනවින් ඉටු කර ඇත.
 
තවද, 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ද රාජකාරී කොට ඇත. මීට අමතරව ඔහු නාවික හමුදාවේ සුවිශේෂී බලඝණයක් ලෙස සැලකෙන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ බලඝණාධිපති (Squadron Commander) සහ එහි අණදෙන නිලධාරී වශයෙන් ද ඉමහත් සේවයක් මාතෘ භූමිය වෙනුවෙන් සපයා ඇත. එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා රාශියක අණදෙන නිලධාරී වශයෙන් ද මෙතුමා රාජකාරී කොට ඇත.     
 
ඔහු නාවික හමුදා මූලස්ථානයේ භාර දූර තනතුරු රාශියක් හොබවා ඇත. ඒ අතර, මාණ්ඩලික නිලධාරී (ව්‍යාපෘති හා සැළසුම්), ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (පර්යේෂණ හා සංවර්ධන), නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික පරිපාලන, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති සැලසුම් හා පර්යේෂණ සහ සංවර්ධන යන ධූරයන් ඒ අතර ප්‍රමුඛ වේ.   
 
ඔහු නාවික සංඥා සහ ඉලෙක්ට්‍රෝනික සංග්‍රාමික කටයුතු පිළිබඳ විශේෂ පුහුණුව, පෝට්ස්මත් හි පිහිටි රාජකීය නාවික නෞකා මර්කරි සංඥා පාසලෙන් සහ ඉන්දියාවේ කොචින් හි පිහිටි වෙන්දුරුති නාවික විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය හදාරා ඇත. 
 
එමෙන්ම, ඉන්දියාවේ වෙලින්ටන් හි පිහිටි ආරක්ෂක සේවා මාණ්ඩලික පාසලෙන් මාණ්ඩලික නිලධාරී පාඨමාලාව නිමා කොට ඇති එතුමන්, ඒ සඳහා ආරක්ෂක සහ යුධෝපක්‍රම පිළිබඳ විද්‍යාපති උපාධිය ද හිමි කරගෙන ඇත. මීට අමතරව රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇති ඔහු, ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ද වේ.      
 
ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ත්‍රස්තවාදී කටයුතු පිටුදැකීම පිළිබඳ විශේෂඥයෙකු වේ. එමෙන්ම 2005 වර්ෂයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කීර්තිමත් උපාධිධාරියෙකු ලෙස ද සම්මානයට පාත්‍ර වී ඇත එමෙන්ම, වයිස් අද්මිරාල් සින්නයියා මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි පිහිටි ආරක්ෂක සහාය කළමණාකරනය පිළිබඳ වූ ආයතනයේ ආරක්ෂක සහයෝගිතා පාඨමාලාව ද සාර්ථක ලෙස නිම කොට ඇත.  
 
ඔහු දක්ෂ කථිකයෙකු මෙන්ම සැමගේ ගෞරවය දිනා ගත් උපදේශකයෙකු ද වේ. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් විවිධ සම්මන්ත්‍රණ වලදී දේශණ පවත්වා ඇත. තවද, බටලන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික සේවා විද්‍යාලයේ විෂය නිර්දේශය සකස් කිරීම ද හෙතෙම මහඟු දායකත්වයක් සපයා තිබේ.     
 
ඔහු ත්‍රස්තවාදයට එරෙහි සහ මුහුදු සංග්‍රාමික කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැළකේ. තවද, මාලදිවයිනේ ආරක්ෂක බලකායේ ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් ඉටු කර, එය 2008 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරුණු අතර, සාගරය සහ ගොඩබිම් ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳ මාලදිවයින් ආරක්ෂක බලකායේ ප්‍රතිපත්තිය වශයෙන් සැලකෙන්නේ ද මෙයයි.     
 
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා අවශ්‍ය යුධ අවි සහ ඩෝරා යාත්‍රා නවීකරණය කිරීමේ කටයුතු වලදී ද සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කිරීමට ඔහු සමත්ව ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මිලි මීටර් 30 අවිය නිර්මාණය කිරීමේ සැළසුම් සකස් කිරීමේ ප්‍රධානියා වශයෙන් සැලකෙන්නේ ‍ද මොහුය. 
 
මොහු දක්ෂ වෙඩික්කරුවෙකු වන අතර, 2001-2002 යන වර්ෂයන් හිදී ශ්‍රී ලංකා ප්‍රායෝගික පිස්තෝල වෙඩි ‍තැබීමේ සංචිතයට නායකත්වය සපයන ලදී. තවද, දක්ෂ ක්‍රීඩකයෙකු වන ඔහු, පැසිපන්දු, පාපන්දු, රගර්, ස්කොෂ් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩා වෙනුවෙන් නාවික හමුදාව නියෝජනය කර ඇත.     
 
ඔහු විසින් ප්‍රකට කරන ලද කැපී පෙනෙන විශිෂ්ඨත්වය සහ නිර්භීතභාවය මෙන්ම එතුමන් මව්බිම වෙනුවෙන් ඉටු කරන ලද සුවිශේෂී සේවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් බොහෝ අවස්ථාවන් වලදී ඇගයීමට ලක් කර ඇත.  
 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර වයිස් අද්මිරාල් සින්නයියා මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ‍සේවය කරන ලදී. කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ ජන්මලාභය ලැබූ එතුමන්ගේ දයාබර බිරිඳ තිරුනි මැතිණිය වන අතර, ඔවුන් දෙපළගේ පුතණුවන් තාරුන් (24) සහ දියණිය එනක්ෂි (21) වේ.  
 
 
 

අදහස් 1ක් ඇත

daksaya nihadaya! niyama awasthawedi balaya athataganiya! anun pawadimada ewannek nokarayi!! yuddayakadi yuddayak yanu depatthaka yuddayeki, yuda satanakadi kisiwek boi sathwayo nowanu attheya, depatthama sinhayo, koti wannoya, eya niyama yuddayaki, lassana yuddayeki, eheth ballo passedi buranawa, hadata buranawa wage, ewanno niyama yuda nayakao nowanu athheya, namuth yuddaya , iwarada! yahapath yuda nayakathwayak atthek lesa methuma sagaraya gana balaganiya kiya api wiswasaya hadawathinma thiya ganimu!

නව අදහස දක්වන්න