ඇවන්ගාඩ්-රක්නාලංකා සභාපතිවරුන්ට ලබන මස උසාවි එන්නැයි අවවාද | දිනමිණ

ඇවන්ගාඩ්-රක්නාලංකා සභාපතිවරුන්ට ලබන මස උසාවි එන්නැයි අවවාද

කුමුදු හෙට්ටිආරච්චි

පාවෙන අවි ගබඩාව ස්ථාපිත කිරීමේදී සිදුවූ ගනුදෙනුවලදී රුපියල් ලක්ෂ තුන්සිය පනස් පහක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ නඩුව සම්බන්ධව නොතීසි මත ප්‍රථම වරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හා රක්නාලංකා සමාගමේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට ලබන ඔක්තෝබර් මස 03 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (25) අවවාද කළේය.

රුපියල් ලක්ෂ තුන්සිය පනස් පහක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු අධිචෝදනා 47ක් යටතේ විත්තිකරුවනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා ඇත.නාවික හමුදාව යටතේ තිබූ මුහුදු ආරක්ෂණ සැපයීමේ කටයුතු 2012 වසරේදී ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ලබාදීමට එකී අල්ලස් ලබාදීම හා ලබාගැනීම සිදු කර ඇතැයි විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇත.

නීතිඥ නවීන් මාරපන, අජිත් පතිරණ, ගාමිණී අල්විස් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. 

 

නව අදහස දක්වන්න