රක්ෂිත ඉඩම් හඳුනා ගැනීමට අන්තර්ජාල සිතියමක් | දිනමිණ

රක්ෂිත ඉඩම් හඳුනා ගැනීමට අන්තර්ජාල සිතියමක්

රක්ෂිත ඉඩම් හඳුනා ගැනීමට අන්තර්ජාල සිතියමක් මිනින්දොරු දෙපාර්තමේන්තුව මඟින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්ෂිත ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර ආයෝජකයන් ඇතුළුව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිතා කළ හැකි වන අයුරින් එය නිර්මාණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීමක් පරිදි මෙම කර්තවය සිදු කර තිබේ.

මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ආයෝජකයින්ට තම ව්‍යාපෘති ස්ථානගත කිරීමේ දී ඒ ඒ ප්‍රදේශයන්හි පිහිටි රජය සතු රක්ෂිත, වනාන්තර, වාර්මාර්ග ආදිය සඳහා වෙන් කරන ලද ඉඩම් ආදිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි නිශ්චිත මුලාශ්‍රයක් නොතිබීම මෙතෙක් පැවති දුර්වලතාවයකි.

ආයෝජකයින්ට පහසුකම් සපයමින් ලංකාව තුළ ඔවුන්ගේ ආයෝජන සඳහා දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත.

මෙමඟින් ආයෝජකයින් ආදී විවිධ පාර්ශවයන්ට තම ව්‍යපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේ දී ඒ සඳහා ඉතාමත් සුදුසු ප්‍රදේශයන් ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අන්තර්ජාල සිතියම www.survey.gov.lk/nsdi/lis/index_cad.php යන වෙබ් ලිපිනය හරහා ලබා ගත හැකි අතර GPS ක්‍රමය මඟින් ස්ථානයන් සෙවිම, යම් ස්ථානයක් හඳුනාගැනීමට හැකිවන සේ ස්ථානයේ නම සිතියමට ඇතුළත් කිරීම ආදී සේවාවන් ලබා ගත හැකිය.

මෙම සිතියම වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී රජය සතු එවැනි ඉඩම් පාලනය කිරීමේ බලතළ සහිත ආයතනයක් මඟින් ලබා දෙන තොරතුරු මත පදනම්ව සකස් කර තිබේ.

නව අදහස දක්වන්න