බණ්ඩි රාල
‘ලෝක වාර්තා තැබීම‘ කියන කාරණය මේ තරම් තුට්ටු දෙකේ සරල වැඩක් කියලා මං ඉස්සර කාලෙ හිතාගෙන හිටියේ නෑ. සාමාන්‍ය මිනිසුන්ගේ සිතීම් සීමාවෙන් එහාට සිතීමත්, ක්‍රියාත්මකවීමත් කියන කාරණා දෙකම එහිදී තීරණාත්මකයි. ඒ දේවල් කරලා ලෝක ඉතිහාසයේ නම රැඳවීම වීරයන්ගේම වැඩක් කියලයි මං කල්පනා කළේ. ඒත් ඒක එහෙමම නෙවෙයි.
“අපේ නාලිකාව ජෝතිපාලගේ ගීත එක දිගට දවස් දෙකක් විකාශනය කරලා ලෝක වාර්තාවක් තියනවා“ ඔන්න දැනට අවුරුදු දෙක තුනකට කලින් එක්තරා එෆ්.එම් නාලිකාවක් ඔහොම කියලා ජෝතිපාලගේ සිංදු ගහන්න පටන් ගත්තා. මේ වැඩේ ගැන ජෙමාගෙ පෙට්ටි කඩේ ළඟදි ඇසිලින් නැන්දා මගෙන් ඇහුවා.
“එතකොට පුතෝ ජෝති උන්නැහේ ගැන ලෝකෙම මිනිස්සු දන්නවද?“
“එහෙමම කියන්න බෑ. ඒත් ඉතිං අපේ රටේ නම් තාමත් ජෝති තමයි“ මං කියල දැම්මා.
“ඉතිං කාට හරි මෙච්චර දවසක් එක දිගට එකම ගායක මහත්තයෙක්ගෙ සිංදු ගහන්න බෑ කියලා නීතියක් තිබ්බද?“ ඇසිලින් නැන්දා ආයෙම අහනවා.
“එහෙම නීතියක් නෑ නැන්දේ. ඒකනෙ ඒක කරන්නෙ.“ මං කීවා.
“එහෙනම් ඉතිං ඒක කොහොමද මහ ලොකු වැඩක් වෙන්නේ?“ ඇසිලින් නැන්දත් අරින්නෙම නෑ.
“ඒක නම් අපි දන්නෙ නෑ. ඒත් ඉතිං මොකෙක් හරි තමන්ගෙ දැනුම් තේරුම් කමට නොකරපු දෙයක් තවත් කෙනෙක්ගෙ තියෙන පඩත්තල කමට කරත් අලුත් දෙයක් හැටියට තමයි අපි බාර ගන්නේ“ ජෙමා කතාවට එකතුවෙමින් එහෙම කීවා.
ඒ වෙලාවෙ මමත් ඉගෙන ගත්තු දෙයක් තිබුණා. ඒ තමයි මේ විදිහට වාර්තා තියන එක ඒ තරම් අමාරු දෙයක් නොවන විත්තිය. ඔය විදිහටම අලුත් වාර්තාවක් ගැන කතා බහක් පෙට්ටි කඩේ ළඟ ඇතිවුණේ ඊයේ මාටින් අයියා පත්තරේ පෙරළන ගමන් කෑ ගහපු නිසයි.
“මෙන්න යකෝ නුවර පැත්තෙ දිගම ඔසරි පොට ඇඳලා මනාල ජෝඩුවක් ලෝක වාර්තාවක් තියලා.“
“ඒ කියන්නෙ ඔසරිය අඳින්නෙ නැතුව ඔසරි පොට විතරක් ඇඳලද? මයික් ගුණේ කහට කෝප්පයක් තොල ගාන ගමන් පත්තරේට එබුණා. මාටින් අයියා පත්තරේ තිබිච්චි පුවත කියවගෙන ගියා. ඒ පළාතේ දැවැන්ත දේශපාලන චරිතයක උපදෙස් පරිදි අලුතෙන් විවාපත් යුවළට ලෝක වාර්තාවක් තියන්න හිතිලා. ඉතිං ඒ මනාලියගේ මංගල ඇඳුමේ ඔසරි පොට සැතපුමක් දෙකක් විතර දිගට හදලා. ඒක බිමදිගේ ඇදෙනවට උස්සගෙන සිටින්නට කුඩා පාසල් දරුවන් යොදවලා. හරිම ආඩම්බරෙන් මනාල යුවළ හිටියට බොහෝම අමාරුවෙන් පුංචි එවුන් ඔසරි පොට උස්සගෙන ඉන්නවා.
“මේ විදිහට අනුන්ගෙ මගුලකට ඉස්කෝලෙ යන වයසේ පුංචි එවුන් ඉස්කෝලෙ නිල ඇඳුමෙන් යොදවන්න පුළුවන්ද? මෙතන ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා නැද්ද?“ මට ඒක දැකපු ගමන් හිතුණේ එහෙව් අදහසක්.
“මේ ගැන ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබිලලු. ඔන්න පරීක්ෂණයක් ආරම්භ කරලා කියලත් අපේ කොලුවා කීවා“ නන්ද අයියා කීවා.
“පත්තරේ නම් එහෙම එකක් නෑ“ මාටිනා අයියා ඇහුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ රඳවාගෙනයි.
“නෑ. නෑ. කොහොමත් අද එස්.එම්.එස් හැටියටයි, අන්තර්ජාලෙ හරහායි අද බලන්න පුළුවන් ප්රවෘත්ති ටික තමයි හෙට වෙද්දි පත්තරේට එන්නෙ. ඕකත් හෙට පත්තරේ වැටෙයි“ ඉස්කෝලෙ මහත්තයා කීවා.
ඇත්තටම පුංචි කාලෙ ගෙවලා යොවුන් වියට එද්දී කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙ අනන්‍යතාව ගෙදරින්, පවුලෙන් පිට ලියන්න ඕන වෙනවා. ඉතිං අර පවුල ඇතුළේ හිරකරගෙන හිටපු ආශාවන් මහපාරෙදි, වෙනයම් තැනකදි මුදාහරින්න ගන්නවා. රස්තියාදුකාරයා, හරි නැට්ටිච්චි, පිස්සා, අහිංසක ළමයා වගේ එක එක අනන්‍යතා ගමෙන්, රටෙන් ඒ අයට හම්බවෙනවා. 'පැඟිරි වයසේ විසේ' කියලා වැඩිහිටියෝ කියන්න ගත්තෙ ඔන්න ඔය වයසටත්, ඔය ක්‍රියාවලියටත් තමයි. ඒත් ඉතිං ඒ කාලෙ පහුකරගෙන ගියාට පස්සෙත් කාට හරි තදබල විදිහට අනන්‍යතා ප්‍රශ්නයක් තියෙනවානම් කියන්නෙ වෙන්නේ මේ අයට 'රෝගීන්' කියලා තමයි. මේක ආයතන ගත වුණාම තත්ත්වය තවත් බරපතළ වෙනවා. ඒ නිසාම දිගම ඔසරි පොට හැදීමේ සිට එකම ගායකයෙකුගේ සිංදු එක දිගට ගහන එකත් අතර ලොකු වෙනසක් නෑ. මේ විදිහට ලෝක වාර්තා තියන්න මටත් පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ ගැන ටිකක් කතා කරන්න පොටක් පෑදෙනකල් බලාගෙන ඉඳලා මං අපේ මායියට කතා කරා.
“මං හෙට බැලුන් සීයක් අරන් ඇවිත් පුපුරවන්න හිතාගෙන ඉන්නවා.“
“ඒ මොකටද තමුසෙට පිස්සුවත් හැදීගෙන එනවද?“ මායියා ගත් කටටම ඇහුවා.
“බැලුන් සීයක් එකට පුපුරුවපු කෙනෙක් ගැන ඔයා අහල තියෙනවද?“ මං ඇහුවා. 'නෑ' කියන අර්ථයෙන් මායියා දෙපසට ඔළුව හෙළෙව්වා.
“එහෙනම් ඉතිං බැලුන් සීයක් එකට පුපුරුවනවා කියන්ලෙ ලෝක වාර්තාවක්. මං ඒක කෙරුවම ලෝක වාර්තාවක් තිබ්බ බණ්ඩි රාලගේ බිරිය හැටියට ඔහේටත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්“ මං තේරුම් කරලා දෙන්න හැදුවා. මායියා කඩිමුඩියේ කාමරය දිහාට දුවගෙන ගියා.
“පුතේ ඉක්මනට ගෙදර එනවද? අප්පච්චිගේ සිහි කල්පනාව හොඳ නෑ වගේ“ මායියා පුතාට කතා කළා. ඊට පස්සෙ හාන්සිවී සිටි සැටියේම මට නින්ද ගියා.
නව අදහස දක්වන්න