රාජ්‍ය සේවයට ඔළුගෙඩි කුමට! | දිනමිණ

රාජ්‍ය සේවයට ඔළුගෙඩි කුමට!

1960 ගණන්වල ශ්‍රී ලංකාව පිළිගත් එක අදහසක් වූයේ; රාජ්‍ය සේවකයන්ගේ අදහස් හා යෝජනා රටක් හැටියට අප පිළිගත යුතු ය. එදා පිළිගත් එක අදහසක් වූයේ රාජ්‍ය සේවකයා ලෝකය ගැන දන්නේ ය, රට ගැන දන්නේ ය යන අදහස ය. රටේ පොදු ජනතාවට වඩා ඉහළ දැනුමක් හා හැකියාවක් රාජ්‍ය සේවකයාට ඇතැ’යි යන මතය එදා පැවැතිණි. එහෙත් 1990 ගණන් පමණ වන විට එම අදහස වෙනස් විය. රාජ්‍ය සේවකයා නොසලකා හරින තැනකට සමාජය එළැඹී තිබිණි. ඒ කෙසේ වතුදු දැන් රාජ්‍ය සේවකයා පිළිබඳ අලුත් අදහසක් සමාජගත වී තිබේ.

ඉහත සමාජගත වීමට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් අතුරින් අලුත් හා නිර්මාණාත්මක අදහස් හා සංකල්ප ඇත්තේ මුළු රාජ්‍ය සේවක පිරිසෙන් 21%කට පමණි. පළමුව කිවයුත්තේ මෙය පිළිගත හැකි කාරණයක් බව ය. අපගේ පිළිගැනීමට අනුව රාජ්‍ය සේවකයන්ගෙන් 75%ක් පමණ ම තමන්ගේ ඉලක්ක ජයගන්නේ නැත. ඉලක්ක ජයගත හැකි වුවමනාවක් හා උත්කර්ෂයක් ද ඔවුන් ළඟ නැත. රටේ රාජ්‍ය සේවය සුදු අලියෙකැ’යි ද ප්‍රකාශ වී තිබිණි. කෙසේ වුව ඉහත සඳහන් අදහස හා සංඛ්‍යා ලේඛන ඔස්සේ රටේ අනාගතය ගැන යම් තීන්දුවක් ගත හැකි ය.

අද වනවිට රාජ්‍ය සේවයේ නියුතු මුළු ගණන ලක්ෂ පහළොවකට ආසන්නය. රාජ්‍ය සේවය සඳහා තවත් පිරිස් බඳවාගැනීමට වත්මන් ආණ්ඩුව ද සැලැසුම් සකස් කරමින් සිටී. රාජ්‍ය සේවකයන් හා එම ආයතන නඩත්තු කිරීම සඳහා රජයක් වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. එලෙස වැය කරන මුදලින් නිසි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ද යනු ගැටලුවෙකි. රාජ්‍ය සේවය වේවා, පෞද්ගලික සේවය වේවා ඔවුන් රට වෙනුවෙන් නිෂ්පාදන හා සේවා අංශවලට අනුයුක්තව දිගටම වැඩ කළ යුතුය. එහෙත් දැන් එවැන්නක් පෙනෙන්නට නැත. අවංක ලෙස තමන්ගේ සේවයෙහි නිරත වන අය අඩු බව පෙනී ගොස් තිබේ.

ඉහත හෙළිදරව්ව සමීක්ෂණයක් ලෙස ගතහොත් එක්තරා පෞද්ගලික ආයතනයක් ව්‍යාපාර ව්‍යාපෘති හා ආයතන අසූවක් පාදක කොට ඉහත කී සමීක්ෂණය සිදුකර තිබේ. ඊට අදාළ ප්‍රධාන සාධක අටක් ද සමාජගත කර තිබේ. අවසන් ප්‍රතිඵලය වන්නේ ගර්ජනාවට හා විවේචනයට හුරු වූ පුද්ගලයන් හා ආයතන ගණනාවක් හා පුද්ගලයන් කිහිපදෙනකු එකතු වී රටේ ආර්ථිකයට හා සමාජ ක්‍රමයට යම් බලපෑමක් සිදු කරන බවය. එය විහිළුවක් නොවේ. අප සොයා බැලිය යුත්තේ ඒ ගැනය.

රටක් ඉදිරියට ගෙන යෑම සඳහා ඒ රටේ තරුණ පරම්පරාවේ විප්ලවීය අදහස් යොදාගත යුතුය යන්න පිළිගත් මතයකි. මීට පෙර ශ්‍රී ලංකාව තුළ එම මතයට කිසිදු සැලැකීමක් නොවූ අතර අද වනවිට යම් පිළිගැනීමක් ඇති බව සඳහන් කළ යුතු ය. එයත් අප ලැබූ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. මේ වනවිට රටවල් පහක් - හයක් හෝ අටක් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාගැනීමට අපට හැකි වී තිබේ. එයද ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. මේ වනවිට අපට සිදු වී ඇත්තේ දුම්රිය ධාවනය ගැන අලුත් යෝජනා ඉදිරිපත් කරමින් එම ධාවනය ගැන සිනාසී අත හකුළා දැමීම ය.

අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ අනාගත අපේක්ෂා ගැන සලකා බලන්න! සමහරු අධ්‍යාපනය සඳහා විදේශ ගතවෙති. තවත් සමහරු විවිධ අවශ්‍යතා සඳහා යුරෝපයට යති. ඒවායෙහි කිසිදු වරදක් නැති බව පැහැදිලිය. තරුණ- තරුණියෝ විවිධ ආයතනවල රාජකාරිවල නිරත වෙති. ඔවුහු රටේ ජාතික සංවර්ධනයට ද විශාල දායකත්වයක් දක්වති. එහෙත් ඔවුන් නිර්මාණශීලී නැත. අදහස් හා සංකල්ප අතින් ඉදිරියට ගොස් නැත. ආයතනයකට අලුත් ආලෝකයක් ලැබෙන්නේ සමස්ත කාර්ය මණ්ඩල අලුතින් සිතා ලෝකයට ගැළපෙන ලෙස තම රාජකාරිය කිරීමට සිතා ගැනීමෙන් ය.

කිසියම් පුද්ගලයකුට තමන්ගේ පාඩුවේ වැඩ කිරීමේ හැකියාවක් අපේ රට තුළ නැත. ඒ සඳහා ඕනෑතරම් මනාලයන් හා මනාලියන් ප්‍රදර්ශනය කළ හැකිය. එහෙත් ඒවා අර්ථවත් දේවල් නොවේ. මේ සංවාදය පවා මෙතැනින් නිමාවකට යන්නේ නම් වැදගත් ය. ජාතිය, කුලය, බලය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු තවත් දේවල් නිසා ඉහළ පැළැන්තියක් බිහි වී සිටිති.

කොයි අතින් බැලුවද රාජ්‍ය සේවකයා යනු සරල මතධාරි පුද්ගලයෙකි. ඔහුට ගෞරවය හා පාරිසරික පද්ධති ආකර්ෂණය ඒ මඟින් ඇතිකරගත හැකි ය. මිනිසුන් අකාලයේ මිය යන්නේ ද වෙනත් බරපතළ අනතුරුවලට මුහුණ දෙන්නේ ද තමන්ගේම පවත්නා දුර්වලතා නිසා ය. ඇතැම් මෝඩයෝ බස් නැවතුමේදී දිවි නසා ගනිති. තවත් අය වෙනස් ස්ථානවලදී දිවි නසා ගනිති. මේ වනවිට දිවි නසා ගැනීම මෝස්තරයක් බවට පත් ව තිබේ. රාජ්‍ය සේවකයෝ ද මේ අතර සිටිති.

රාජ්‍ය සේවකයාගේ ජීවිතය බෙහෙවින් දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. ගෑස් මිල ඉහළ ගියේ ය. පසුගිය කාර්තුව තුළ උද්ධමනයේ වර්ධනය 9%ක් ලෙස සටහන් වී ඇත. ඒ අතර බදු ප්‍රශ්න ගැන ද, කතා කරති. මේවාට මැදිහත් වන්නේ ද රාජ්‍ය සේවකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ පසුබිම රාජ්‍ය සේවකයා දනිති. එහෙත් ඔහුගේ ක්‍රියාකාරිත්වය එම දැනගැනීමට වඩා වෙනස් ය. ජර්මනිය,එංගලන්තය, නෝර්වේ, කැනඩාව වැනි රටවල් දියුණු වූයේ රාජ්‍ය - යන්ත්‍රණය හා ඊට අදාළ මානව සම්පත නිසා ය. රාජ්‍ය අංශය සතු මානව සම්පත දුර්වල නම්; අනාගතය ගැන අපේක්ෂා තබා ගැනීම ම බොරුවකි. එහෙත් එය වෙනස් කළ හැකි ය.

නව අදහස දක්වන්න