ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී අක්‍රීය සංගම් 6ක හිටපු ලොක්කන්ට ඡන්ද අයිතිය | දිනමිණ

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී අක්‍රීය සංගම් 6ක හිටපු ලොක්කන්ට ඡන්ද අයිතිය

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මේ වසරේ දෙසැම්බර් අග සතියේදී පවත්වන බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි මාසයේ නැවත නිලවරණය කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව යටතේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 24ට පෙර පරිදි ඡන්ද අයිතිය හිමිකර දෙන ලෙසය. මේ තත්ත්වය හමුවේ එම ක්‍රීඩා සංගම් 24 තුළ විවිධ ප්‍රශ්න හේතුවෙන් නිලවරණ පැවැත්වීමට නොහැකිව ඇති ක්‍රීඩා සංගම්වල හිටපු නිලධාරීන්ට ඡන්ද අයිතිය හිමි වනු ඇත. නාමයෝජනා කැඳවීමට පෙර නිලවරණ පවත්වා නව නිලධාරීන් පත්කර ගැනීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ දැනුම්දීම අනුව ප්‍රශ්න සහගත ක්‍රීඩා සංගම්වල හිටපු නිලධාරීන්ට යම් පිළිගැනීමක් ඇතිවන බව ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අපකළ විමසුමකදී පැවැසීය.

“අප බැදී සිටිනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නියෝග අනුව වැඩ කරන්න. ඔවුන් ලිඛිතව අපට දැනුම් දුන්නා සියලුම ක්‍රීඩා සංගම්වලට ඡන්ද අයිතිය දෙන ලෙස. නිලවරණ නොපැවත්වූ ප්‍රශ්න සහිත ක්‍රීඩා සංගම් 6ක් තිබෙනවා. නමුත් ඒ සංගම්වලට ඡන්ද අයිතිය හිමි වෙනවා. ඒ ක්‍රීඩා සංගම් 6ක හිටපු නිලධාරීන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. අපට නව නිලධාරී මණ්ඩලයක් නොමැති නම් හිටපු නිලධාරීන් පිළිගැනීමට සිදු වෙනවා” සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව යටතේ ලියාපදිංචිවී ඇති ක්‍රීඩා සංගම් වන්නේ දුන්නෙන් විදීමේ, කඩු හරඹ, අශ්වාරෝහක, ඔරු පැදීමේ, පාපන්දු, කැනොයින් හා කයකින්, ඉලක්කයට වෙඩ් තැබීමේ, ජිම්නාස්ටික්, ටේබල් ටෙනිස්, ටෙනිස්, මලල ක්‍රීඩා, ජල ක්‍රීඩා, වොලිබෝල්, බොක්සිං, පාපැදි, ටයිකෝන්ඩෝ, හොකී, ජූඩෝ, බැඩ්මින්ටන්, බාස්කට්බෝල්, හෑන්ඩ්බෝල්, තුන්ප්‍රයාම, බර ඉසිලීම, මල්ලවපොර, යාචින් ක්‍රීඩා සම්මේලනය වේ. මේ සියලු සංගම් ප්‍රධානීන්ට ඡන්ද අයිතිය හිමි වේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අරමුණ ඇතිව නොවැම්බර් 9වැනිදා ඔලිම්පික් නිවහනේදී සියලුම ක්‍රීඩා සංගම් කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට මෙරට ඔලිම්පික් කමිටුව යටතේ ඇති සියලු ක්‍රීඩා සංගම් අනුකූල විය යුතු අතර ජගත් ව්‍යවස්ථාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කිරීමට බැදී සිටී.

ඔලිම්පික් නිලවරණයට අදාළ නාම යෝජනා නිලවරණයට දින 45කට කලින් කැඳවන බවත් විගණිත මූල්‍ය ප්‍රකාශ සමග මහා සභාව කැඳවා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුවේ. වසර 20ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කරන ඔලිම්පික් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එළැඹෙන ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකරන බව කලින්ම පවසා තිබුණි.

“ඔලිම්පික් මුල් පුටුවට සුදුසු හොඳම කෙනෙක් පත්වෙනවා දක්න්නයි මට අවශ්‍ය. මගේ කාලයේ අංග සම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් ඉදිකොට තිබෙනවා. ස්ථාවර තැන්පත් ගිණුමේ රුපියල් මිලියන 50ක් තැන්පත් කොට තිබෙනවා. සේවක වැටුප් ගෙවන්න මාසයකට රුපියල් ලක්ෂ 8ක පමණ ආදායමක් අපේම ක්‍රමවත් සැලසුමක් අනුව ඔලිම්පික් කමිටුවට ලැබෙනවා. මගේ කාලයේ කළ හැකි උපරිම දේ මා කළා.

මා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හා ආසියානු ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කරමින් තව දුරටත් ක්‍රීඩාවට සේවය කරනවා” ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අවසන් වරට 2009දී පැවැති ඔලිම්පික් කමිටු නිලවරණයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිතරගයෙන් තේරී පත්විය. ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස මුල්වරට පත්වූයේ 1997දීය. ඒ මහතා එතැන් සිට මේ දක්වා අඛණ්ඩව එම තනතුරේ කටයුතු කළේය. අවසන් වරට පැවැති නිලවරණයේදී එතෙක් ලේකම් ලෙස මැක්ස්වෙල් ද සිල්වා මහතා තේරී පත්විය.

ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති, ප්‍රධාන ලේකම්, උප සභාපති ධුර හයක්, උප ලේකම් ධුර දෙකක්, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ධුර වසර හතරක කාලයකට පත් වේ. 

 

නව අදහස දක්වන්න