ඉන්ධන බෙදා හරින්න දුම්රිය වැඩියෙන් යොදා ගන්නවා | දිනමිණ

ඉන්ධන බෙදා හරින්න දුම්රිය වැඩියෙන් යොදා ගන්නවා

ඇමැති අර්ජුන කියයි

ඉන්ධන බෙදා හැරීම සඳහා දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

බවුසර් රථවලින් ඉන්ධන බෙදා හැරීමට වඩා එය වඩාත් ලාභදායි බවද ඉදිරියේ දී ප්‍රාදේශීය ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා කියා සිටී. එහි පළමු පියවර වශයෙන් මහනුවර පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමැති අර්ජුන රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

මහනුවර පේරාදෙණියේ පිහිටා ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලයට පෙර දැනුම් දීමකින් තොරව හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමැති අර්ජුන රණතුංග මහතා සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටලු ද විමසා බැලීය. එහිදී ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය වියදම් කපා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති අර්ජුන රණතුංග මහතා,

' ටැංකිවලට වඩා දුම්රියෙන් මහනුවරට තෙල් ගෙන ආවොත් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ලාභයක් ලබා ගැනීමට හැකි වෙනවා. මට මේ ආයතනය භාර දුන්නෙත්, මම භාර ගත්තෙත් සංවර්ධන කටයුතු කරන අතරතුර ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම සඳහා. එක් පැත්තකින් බැලූ විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලාභ ලැබීම අපහසු කටයුත්තක්. මොකද අපි හුඟාක් සහන ලබා දෙනවා මහජනතාවට. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට පළමුව අපි උත්සාහ කරනවා. දැනටමත් අපි ඛනිජ තෙල් සංස්ථාවේ වියදම සෑහෙන දුරට අඩු කිරීමට අපි සමත්ව සිටිනවා.

නමුත් කිසිම දිනක සේවකයන්ට හිමි සේවකයන් ලබන වරප්‍රසාද අපි කිසිම විටක අඩු කරන්නේ නැහැ. වරාය ඇමැතිවරයා ලෙස සිටින විටත් මම ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. වරායේ සිටින විට අවුරුදු 2ක් ඇතුළත බිලියන 11ක ලාභයක් ලැබීමට අපිට හැකි වුණා.

ක්‍රිසන්ති විතාරණ 

නව අදහස දක්වන්න