සයිටම් සතුව රෝහලක් ඇතත් රජයේ වෛද්‍ය විද්‍යාල කිහිපයකට එවැනි රෝහල් නැහැ | දිනමිණ

සයිටම් සතුව රෝහලක් ඇතත් රජයේ වෛද්‍ය විද්‍යාල කිහිපයකට එවැනි රෝහල් නැහැ

නෙල්කා මැදගෙදර

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සතුව රෝහලක් ඇතත් වෛද්‍ය උපාධිය ලබාදෙන රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් සතුවම එවැනි රෝහල් නැතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කීය.

එහෙත් එවැනි බරපතල කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනයට පමණක් විරෝධය පළ කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව හෙතෙම සඳහන් කෙළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකළ විශේෂ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මූලික රිට් පෙත්සම ගොනු කළ සයිටම් සිසුවිය වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ බව කීය.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සතුව රෝහල් නොපවතින බවද හෙතෙම සඳහන් කෙළේය. එහෙත් ඇතැම් විදෙස් සිසුන්ට පවා වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවද කී ජනාධිපති නීතිඥවරයා වෛද්‍ය සිසුන්ට පුහුණුව ලබාදීමට රෝහලක්ද සතුව පවතින සයිටම් ආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පදනම් රහිතව විරෝධය පළ කරන බව කීය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවද හෙතෙම කීය. සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නන්ගේ එම ඉල්ලීමට අවනත වුවහොත් සයිටම් හි වෛද්‍ය අධ්‍යාපනය ලබන තරුණ සිසුන්ගේ මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතයටද එය අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද හෙතෙම කීය.

පෙත්සම් විභාගය පසුවට කල් තැබිණි. 

නව අදහස දක්වන්න