වෙස් මුහුණෙත් වෙස් පෙරළෙයි | දිනමිණ

වෙස් මුහුණෙත් වෙස් පෙරළෙයි

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

වෙස් මුහුණු කලාව අද වන විට මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වයෙන් ගොඩ ගෙන ඉහළ මට්ටමකට ගෙන ඒම අදාළ බලධාරීන් සතු යුතුකමක් මෙන්ම වගකීමක් වී ඇත්තේ, මේ කර්මාන්තය අපේ සංස්කෘතිකාංග ලකුණු මනාව පිළිබිඹු කරන කර්මාන්තයක් වී ඇති නිසාය. බෙන්තොට, සුද්දගොඩ, ජීවත් වූ ජී. දියෝනිස් ගුරුන්නාන්සේ පහතරට වෙස් මුහුණු කලාවේ ප්‍රගමනයට දැඩි කැපවීමක් කළ ඒ පිළිබඳ හසල දැනුමක් තිබූ නිර්මාණශීලී ප්‍රවීණ කලා ශිල්පියෙකි.

දැන් ඔහුගේ පරම්පරාවේ තුන්වැනි අදියර අරඹා ඇත්තේ ඔහුගේ මුනුබුරකු වන ජී. මහින්ද නම් වූ ශිල්පියෙකි. ඔහුගේ වයස අවුරුදු 41කි. වසර 30ක පමණ කාලයක සිට මේ කර්මාන්තයේ නියැළී සිටින ඔහුගේ බෙන්තොට, රොබොල්ගොඩ ප්‍රදේශයේ ගාලු පාර අද්දර පිහිටි ව්‍යාපාරික ආයතනයේ වෙස් මුහුණු පුරවා ඇතත් ගනුදෙනුකරුවන් නම් ඒ තරම් පැමිණෙන බවක් පෙනෙන්නට නැත.

ඉතා දර්ශනීය, එමෙන්ම නෙත් සිත් ඇද බැඳ ගන්නා, පංච නාරි ගැටය, සිය වටුක රාක්ෂ බලිය, නාග රාක්ෂ, ගරා මුහුණු, දේව රූප, දේව මුහුණු, ඇත් රූප, යක්ෂ මුහුණු, නොන්ඩි කෝලම් මුහුණ, ආදී විවිධාකාර අයුරින් කදුරු, මහෝගනී, නැදුන්, මාර, තේක්ක, ආදී ලී කොටන් කපා කොටා තම දෑතේ වීරියෙන් මටසිලිටි හැඩතල ඔස්සේ නිර්මාණය කෙරුණු වෙස් මුහුණු හා විවිධ කැටයම්වලින් ඔහුගේ වෙළෙඳ සල බැලූ බැල්මට පෙනෙන්නේ පුංචි කලාගාරයක් ලෙසිනි. එහෙත් කනගාටුවට හේතුවක් වී ඇත්තේ මෙම නිර්මාණකරුවන්ට මහන්සියට සරිලන ආදායමක් නොලැබීම නිසා බෙන්තොටින් වෙස් මුහුණු කර්මාන්තයට තිතක් තැබීමට සිදුවේදැයි බියක් ඇතිවන නිසාය. කිසිදු යන්ත්‍රයක පිහිටක් නොමැතිව ඉතා කුඩා නියන්වල ආධාරයෙන් ලී කුට්ටි කලා නිර්මාණ බවට පත් කිරීම සඳහා දැඩි ඉවසීමක් මෙන්ම සංයමයක්ද අවශ්‍ය වන අතර, වැරැදි නියන් පහරක් වැදුනහොත් යළි එය නිවැරැදි කර ගැනීම ලෙහෙසි පහසු නොවේ.

ජී. මහින්ද කලා ශිල්පියා - අපට මේ කර්මාන්තය සීයා පුහුණු කෙරුවට මගෙන් පස්සේ මේ කර්මාන්තේ ගෙනයන්න කෙනෙක් නෑ. සංචාරක කර්මාන්තය නිසා යම් තරමකින්වත් මේ කර්මාන්තේ රැකුණත්, මේ වගේ පුංචි තැන්වලින් බඩුගන්න එන සංචාරකයෝ අද අඩුයි. එකක් අධිවේගී මාර්ගය නිසා ගාලු පාරේ යන එන වාහන ප්‍රමාණයත් අඩුයි. අනෙක මේ හෝටල්වල සංචාරකයෝ පිරුණත් මහා පරිමාණයෙන් වෙස් මුහුණු කර්මාන්තය කරන තැන්වලට තමයි ඔවුන්ව රැගෙන යන්නේ.

දැන් මාස පහකින් විතර කිසිම වැඩක් නෑ. ලොකු කදුරු ගහක් රුපියල් 2000ක් විතර වෙනවා. කපලා, පටවලා මෙහෙට ගේන කොට රුපියල් 6000ක් විතර වෙනවා. ගිය ආණ්ඩුවෙන්වත්, මේ ආණ්ඩුවෙන්වත් මේ කර්මාන්තේ යෙදී සිටින අපි වගේ පුංචි අයට වෙච්ච සෙතක් නම් නෑ. මගේ ළඟ කලින් තව දෙන්නෙක් වැඩ කළා. දැන් ඒ අය ගෙදරට වෙලා ඉන්නවා. මම දැනට අවුරුදු 30ක් විතර මේකම තමයි රස්සාවකට කියලා කළේ. දැන් නම් අපට කිසිම ආදායමක් නෑ.

මේ වෙස් මුහුණු කර්මාන්තය කරන අය දැන් බෙන්තර පැත්තේ සිටින්නේ අතළොස්සකි. අමු ද්‍රව්‍ය අමාරුවෙන් සොයා ගත්තත් පැහැදිලි වෙළෙඳ පොළක් නොතිබීම නිසා දැන් ඔවුන්ට කරකියා ගත හැකි දෙයක් නැත. වෙස් මුහුණු කර්මාන්තය පමණක් නොවේ. මේ ප්‍රදේශයන්හී කාලයක් මහා ජයට කරගෙන ආ පන් පැදුරු, රන් ආභරණ, කොහු, ධීවර, පේෂකර්ම, කෘෂිකර්ම, ආදී ග්‍රාමීය කර්මාන්ත රැසක්ම අද අභාවයට යාම නිසා ඒවායින් යැපුණු බොහෝ දෙනෙක් තම ජීවනෝපාය සරි කර ගත නොහැකිව අතරමංවී සිටිති.

නව අදහස දක්වන්න