ඔසරි පොටේ අපවාදය | දිනමිණ

ඔසරි පොටේ අපවාදය

ලෝක වාර්තා තැබීමට රටක් වශයෙන් අපි ඉතා කැමැත්තෙමු. ඒ ගැන ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක්වත් ලැබේ යැයි උපකල්පනය කරන්නෙමු. නමුත් ඒ වාර්තා කාටවත් සෙතක් නැති විගඩම් ය. සමහර විට රටක් වශයෙන් අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින්නේ ලෝක වාර්තා තැබීමට අපිට ඇති උපන්ගෙයි පිස්සුව නිසා විය යුතු ය.

ලෝකයේ දිගම ඔසරි පොට යැයි කියා ගන්නා දෙයකින් ලෝක වාර්තාවක් තබන්නට ගොස් අපවාද කතා රාශියක් අසා ගත් යුවළකි. අයෙකු වාර්තාවක් තබා රටට කීර්තියක් අත්පත් කර දෙන්නේ නම් රටවැසියාගේ නොමද ප්‍රසාදයට ඔහු පාත්‍ර වේ. ලෝක වාර්තාවකට මුවා වී ඔසරි පොටක එල්ලුණ ඉහත මනාල යුවළට නින්දා ගැරහුම් ය.

මේ අවස්ථාව පමණක් නොව අද ඉන්දීය සාගරයේ අමුතු ඇටයේ වන හැම විවාහ උත්සවයක් ම වාර්තා පිට වාර්තා තබයි. ඡායාරූපවලට පමණක් මුහුණ දීම සඳහා පන්සල් යන, ජීවිතයේ වැදගත්ම අවස්ථාව තම ඇති-හැකිකම පෙන්වීමේ මාර්ගයක් කර ගන්නා විවාහ උත්සව ලංකාවේ එමට ඇත. මංගල දිනයට පසුව මතකයක් පමණක් වන දිගම ඔසරි පොටට ලක්ෂ ගණනක මුදලක් වැය කර ඇත. සල්ලිත්, විවාහයත් ඔවුන්ගේ නම් ඕනෑ දෙයක් කරගත්තාට අනවශ්‍ය සිත් පීඩා කුමටදැයි වැනි තර්ක බිඳ වැටුණේ ඔසරි පොට අල්ලාගෙන සිටි අහිංසකයන් දුටු පසු ය.

පාසල් නිල ඇඳුමෙන් ම සැරසී ගිනි කාෂ්ටකයේ ඔසරි ෙපාටක් ඔසවා සිටි දරුවන්ට මාස ගණනක් කිරි වීදුරුවක් ලබා දීමට ඔසරියට යට කළ මුදල් භාවිත කරේ නම් මනාල යුවළගේ මෙලොව සහ පරලොව ජීවිතවලට එය ආයෝජනයක් වන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇත. ඔවුන්ට පරික්ෂණය අවසානයේ කුමක් සිදුවේදැයි කීමට බැරි මේ ලංකාව නිසා ය.

වාර්තා වන පරිදි මේ නාඩගමට පාසල් දරුවන් පාරට දක්කා ඇත්තේ අලුයම සිට ය. පාසල පටන් ගන්නා වේලාවටත් ඔවුන්ව ඇහැරවීමට මවුපියෝ විශාල ප්‍රයත්නයක් දරති. නිදිමතෙන් සහ බඩගින්නෙන් කාගේදෝ ඔසරි පොටක් උස්සාගෙන මහපාරට වී සිටීම විෂය බාහිර ක්‍රියාකාරකමකට වඩා වැඩිහිටියන්ගේ විලිලැජ්ජාසහගත බව පෙන්වූ ක්‍රියාකාරකමකි. සත්‍ය වශයෙන් ම මේ ඔසරි පොටේ ගිනස් කතාව මීට වඩා අලංකාර සහ පැසසුම් ලබාගත හැකි ලෙස කිරීමට ඉඩ තිබුණි. නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ඇඟ පුරාම මොළය පිහිටා ඇති නිසා ජාත්‍යන්තර වශයෙන් ද අපි විශාල විහිළුවක් බවට පත් වුණෙමු. ඉදිරියටත් එම තත්ත්වය එසේ ම වනු ඇත.

විසි එක්වන සියවසට ඔබින දියුණු දෑ සමඟ අන් රටවල් ජාත්‍යන්තරය හමුවේ ඉදිරියට ඇදෙද්දී අපිව ලෝකයා දැනගත යුත්තේ මෙවන් නොදියුණු සත්වයන් ලෙසින් නොවේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ විදේශ වෙබ් අඩවි කීපයක් ම තම මතවාද පළ කොට තිබුණි. දූපත්වාසී ගෝත්‍රික පිරිසක් ලෙස අප දෙස බැලීමට දියුණු රටවල් ඉතා කැමතිය. ඔවුන්ගේ ඒ අභිමතාර්ථ ඒ ආකාරයෙන් ම ඉෂ්ට කර දීමටත් අපි ඉතා කැමැත්තෙමු.

සිය පාසල් ජීවිතයේ මතකාවර්ජනයේ දී කාටවත් ලෝක වාර්තා තැබීමට උමතුවක් නොතිබීම ගැන අපට සතුටු විය හැක. නමුත් අදාළ පාසල් ශිෂ්‍යාවන්ට සිය පාසල් නාමය සහ තමා අසරණ කළ ඔසරි පොටේ මතකය ලේ පැල්ලමක් මෙන් සදාතනිකව සිතේ රැඳෙනු ඇත.

අයෙක් එක තැනක එක ලෙසකින් සිටීමට හැකි නම් ඒ ළමයෙක් නොවේ. ලයිට් කණු මෙන් පාරට බස්සා ඔසරි පොටක් අතට දීමට පෙර ළමා මනස අවබෝධ කරගෙන සිටියා නම් මෙවන් නස්පැත්තියක් සිදු නොවේ. මනාල යුවළ මවුපියන් වන යම් මතු දිනක තමා කළ අඥාන, අසංවේදි ක්‍රියාව පිළිබඳ පසුතැවෙනු ඇත.

තිසරණී විජයබණ්ඩාර
Thizuu

නව අදහස දක්වන්න