දොස්තරවරු හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් රෝගීන්ගේ ජීවිත මීට වඩා ආරක්ෂා වෙනවා | දිනමිණ

දොස්තරවරු හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් රෝගීන්ගේ ජීවිත මීට වඩා ආරක්ෂා වෙනවා

අසේල කුරුළුවංශ

සෙව්වන්දිගේ පියා කියයි

මගේ ලොකු දුව නැති වුණාට පස්සේ මගේ ඉතිරි දරුවෝ දෙන්නා ඇස් දෙක වගේ මම බලා ගත්තේ.පොඩි දුවටත් හදවතේ රෝගයක් තියෙනවා කියලා දැන ගත්තේ ලොකු දුව මියගිය 2012 අවුරුද්දේමයි. මහනුවර රෝහලේ හදවත් සැත්කම් කරනවා කිව්වම දුවට ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම ඇති වුණා. එයා සැත්කමට ලෑස්ති වුණේ හිනා වෙලා.

කලින් හදවත බද්ධ කරපු කෙනා හොඳින් ඉන්න නිසා දුවට ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. තාත්තේ මම ගිහින් එන්නම් කියලා මට වැඳලා ගිය කෙල්ල කිව්වේ ජීවිතේ කියන අන්තිම වචන ටික මම කවදාවත් හිතුවේ නැහැ. මහනුවර ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යය ඒකකයේ සිදු කළ මෙරට දෙවන හදවත් බද්ධ කිරීමට ලක්වූ අලුත්ගම සචින සෙව්වන්දි තරුණියගේ වියෝව වාවා ගත නොහැකිව ඇගේ පියා ‍මහේෂ් කුමාර එසේ පවසයි.

දුව මහනුවර රෝහලට ගෙනාවේ මාර්තු 28 දායි.රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහත්තයා දුවව විශේෂඥ වෛද්‍ය අනිල් අබේසේකර මහතාට දුවව ‍යොමු කළා. ඒ මහත්තයා කිව්වා දුවට හදවතක් බද්ධ කරන්න වෙනවා කියලා. ඊට පස්සේ අපි දුවට ගැළපෙන හදවතක් ලැබෙන කල් රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටියා. දුවගේ හදවතේ ක්‍රියාකාරීත්වය 10 % කට විතර අඩු වෙලා තිබුණ නිසා එයාට අඩි පහ හයක් ඇවිද්දත් තද මහන්සියක් දැනුණා.

පොළොන්නරුවේදී අනතුරකින් මියගිය හමුදා සෙබෙළෙකුගේ හදවත දුවට බද්ධ කරන්න ලැබිලා තියෙනවා කියලා දොස්තර මහත්තයා මට පහුගිය 19 වෙනිදා කිව්වා. දුවව රෑ සැත්කමට ලෑස්ති කළා. විෂබීජ නාශකයක් දාපු විශේෂ ෂැම්පු වගයකින් දුවව නාවලා බෙහෙත් වර්ගයක් පවා දුන්නා. ඒ වෙලාවේ දුව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් නොහිතපු විදිහට සැත්කම නතර වුණා. දුවට බද්ධ කරන්න සූදානම් කරලා තිබ්බ හදවතත් නිකන් විනාශ වෙලා ගියා.

මගේ දුවගේ ජීවිතේ වටිනාකම මටයි දැනෙන්නේ. එක දුවක් නැති වෙලා මම ඉන්න පීඩනය මම විතරයි දන්නේ. සමහර වෛද්‍යවරුන‍්ගේ ක්‍රියාකලාපය ගැන මට මහ වේදනාවක් දැනුණා. දොස්තරලා කණ්ඩායමක් සැත්කම කරමු කියත්දී තවත් පිරිසක් කරන්න බෑ කියනවා. දෙගොල්‍ලෝම එක කතාවක් කිව්වා නම් ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක් කලබල වුණා. අවසානයේ දුවට තවත් හදවතක් ලැබුණා.මේකත් නතර වෙයිද කියලා මට බයක් තිබුණා.

කොහොම හරි දොස්තර මහත්තුරු සැත්කම කරන්න කටයුතු කළා. දොස්තර මහත්තුරු දවසකට ලෙඩ්ඩු දහස් ගානක් දකිනවා. ඒ අයට ලෙඩෙක් කියන එක සාමාන්‍යයයි. තමන්ගේ දරුවෙක් කියලා හිතලා රෝගි දරුවෙක් ගැන තීරණ ගන්න කියලා මම දොස්තර මහත්තුරුන් ගෙන් ඉල්ලනවා. දුවට ජීවත් වෙන්න වාසනාව තියෙන්න ඇත්තේ මෙච්චරයි.මම කාටවත් චෝදනා කරන්නේ නැහැ.

දුවට පැය 06 ක විතර සැත්කමක් කළා. සැත්කම සාර්ථකයි කියලා වෛද්‍යවරු කිව්වා. දැන් දුව අපි අතහැරලා ගියා. කවදාවත් මතු ආත්මයක දුවට මේ වගේ අකල් මරණයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා.ඒ අතර ඊට හාත්පසින්ම වෙනස් අයත් ඉන්නවා. ඕන ක්ෂේත්‍රයක් මේ වගේ දෙපිරිසක් ඉන්නවා. මහනුවර රෝහලේ ගොඩක් අය අපිට උදව් කළා. දුවව ජීවත් කරවන්න හැමෝම වගේ මහන්සි වුණා. ඒත් මට මගේ දෙවැනි දුව සනීප කරගෙන ගෙදර ගේන්න බැරිවුණා‘මහේෂ් පවසන්නේ වාවා ගත නොහැකි වේදනාවකිනි.

මරණ සහතිකයේ තියෙන්නේ දුවගේ පෙණහලුවල ප්‍රෙෂර් එක වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යය වීමෙන් මරණය සිදු වෙලා කියලයි. දුව දැඩිසත්කාර ඒකකයේ ඉද්දී දොස්තරලා කිව්වා බැක්ටීරියා ආසාදනයක් කියලා.මොක වුණත් දැන් දුව නැති වෙලා. දොස්තර මහත්තුරු එකතු වෙලා වැඩ කරනවා නම් රෝගීන්ගේ ජීවිත ‍වඩාත් ආරක්ෂා වෙනවා කියලා මට මගේ දුව‍ගේ මරණය දැක්කම හිතෙනවා. 

නව අදහස දක්වන්න