අධිවේගි සැපයුම් මඟේ බාධක ඉවත් කිරීමට උසාවි නියෝගයක් | දිනමිණ

අධිවේගි සැපයුම් මඟේ බාධක ඉවත් කිරීමට උසාවි නියෝගයක්

කළුගල් වැටි යොදා දින තුනක් තිස්සේ අවහිර කර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සදහා යොදාගන්නා සැපයුම් මාර්ග අධිකරණ නියෝගයක් මත යළි විවෘත කිරීමට පොලිසිය පෙරේදා (30 දා) කටයුතු කළේය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මතු වී ගැටලුවලට සාධාරණ විසදුමක් නොලැබුණු බව පවසමින්, එම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වන බව කියන පිරිසක් කුරුණෑගල හේනමුල්ල ප්‍රදේශයේදී කළුගල් වැටියක් දමා මෙම සැපයුම් මාර්ගය වසා දැමීමට පසුගිය 27 වැනිදා කටයුතු කළහ.

දම්බොක්ක ප්‍රදේශයේ සිට ගැට්ටුවාන දක්වා දිවෙන කිලෝමීටර් 8.5 පමණ දිගකින් යුත් මෙම සැපයුම් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දින කිහිපයක් තිස්සේ අඩාළ වී පැවැතිණි. සැපයුම් මාර්ගය අවහිර කර තිබූ හේනමුල්ල ප්‍රදේශයට පෙරේදා දහවල් පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් අධිවේගී මාර්ග ඉදිකිරීම් සේවකයන් යොදවා කළුගල් වැටිය ඉවත්කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එහි පැමිණි ප්‍රදේශවාසීහු ඊට විරෝධය දැක්වීම නිසා තරමක උණුසුම් තත්වයක්ද ඇතිවිය.

අදාළ සැපයුම් මාර්ගවලට යොදා ඇති බාධක ඉවත් කරන ලෙසට දන්වමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නියෝගයක් මෙම අවස්ථාවේදී පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා විසින් ප්‍රදේශවාසීන් වෙත ඉදිරිපත් කිරීමත් සමග දෙස් දොවොල් තබමින් ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වී ගියහ.

ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් භාර සමාගමේ සේවකයින් සහ යන්ත්‍රෝපකරණ යොදවා පොලිසිය විසින් කළුගල් වැටිය ඉවත් කිරීමත් සමග එතෙක් අවහිර වී තිබූ සැපයුම් මාර්ගය නැවත විවෘත විය. එම සැපයුම් මාර්ග භාවිතා කරමින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන ‍ලෙසට පොලිසිය විසින් ඉදිකිරීම් භාර සේවකයින් වෙත දැනුම් දුන් නමුත් ඔවුහු අදාල සැපයුම් මාර්ගය භාවිතා කරන බවක් දැකගත නොහැකි විය. ඉන් ටික වේලාවකට පසුව එම ස්ථානයේ සිටි ඉදිකිරීම් සේවකයින් ඔවුන් රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණද සමග ආපසු පිටත් වී ගිය අතර එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඉදිකිරීම් භාර පුද්ගලික සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ තවදුරටත් ඉදිකිරීම් කළ නොහැකි බැවින්, අදාල ගැටලු විසදාගන්නා තෙක් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීමට එහි ඉදිකිරීම් භාර පුද්ගලික සමාගම තීරණය කර ඇති බවය.

කුරුණෑගල අතිරේක

 

  

 

නව අදහස දක්වන්න