කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනපති අරඹයි | දිනමිණ

කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනපති අරඹයි

ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන බහු වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක අවශ්‍යතාව ඉටු කරමින් ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ඉදිකෙරෙන ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (29) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මේ පාසල ඉදි කෙරෙන අතර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව වැනි යාබද දිස්ත්‍රික්කවල බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසලක අවශ්‍යතාව ඉටු කිරීම, ඉංගී‍්‍රසි මාධ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම මෙන්ම ගෝලීය තරගකාරී සමාජ ආර්ථික ලෝකයට ගැළපෙන, ජාතික සංහිඳියාව හා සමාජ ඒකාග්‍රතාව තහවුරුවන පරිදි, උසස් දැනුමකින් යුත් පිරිපුන් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම මෙහි මූලික අරමුණු වේ. 6වැනි ශ්‍රේණියෙන් ආරම්භ කර උසස් පෙළ දක්වා පන්ති පැවැත්වීමට නියමිත මේ පාසල සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, මූලික අදියර යටතේ 06 හා 07 ශ්‍රේණි සහිත දෙමහල් ගොඩනැගිල්ල, නේවාසිකාගාරය, පරිපාලන ගොඩනැගිල්ල, සනීපාරක්ෂක හා විද්‍යාගාර පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත් වන අතර, 2019 වසරේ දී මෙහි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය මෙහි දී ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරුණු අතර, ඉදිකිරීම්වලට අදාළ සැලැස්ම ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද, ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්දු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න