රාජපක්ෂ කල්ලිය රුපියල් දහයක වැඩ කර එයිනුත් සියයට දහයක් සාක්කුවට දාගත්තා | දිනමිණ

රාජපක්ෂ කල්ලිය රුපියල් දහයක වැඩ කර එයිනුත් සියයට දහයක් සාක්කුවට දාගත්තා

 

එජාපය රුපියල් සියයක වැඩ කළත් පම්පෝරි ගහන්නේ නෑ

එජාපයේ සහ රාජපක්ෂ රෙජිමයේ වෙනස අගමැති තලාවේ දී කියයි

රාජපක්ෂ කල්ලිය රුපියල් දහයක වැඩ කර සියයට දහයක් සාක්කුවට දාගනිමින් රුපියල් සියයක වැඩ කළා යැයි කිවුවත් එක්සත් ජාතික පක්ෂය රුපියල් සියයක වැඩ කළත් ඒවා ගැන කියවන්නේ නැතැයි ද රාජපක්ෂ රෙජිමයේ සහ එක්සත් ජාතික පක්ෂයේ වෙනස එය යැයි ද එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලාවේ සහ කහටගස්දිගිලියේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමු දෙකකට සහභාගි වෙමින් පෙරේදා (30) පැවැසීය.

පසුගිය රජය සිදු කළේ කුමක්දැයි විමසූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වර්තමාන රජය කළ ජනතා සේවය ගැන ජනතාවට සැබෑ කරුණු පෙන්වා දී ඉදිරි මැතිවරණවල දී බිම් මට්ටමේ සහ මැද මට්ටමේ බලය තහවුරු කර ගත යුතු බව සිය පාක්ෂිකයන්ට පෙන්වා දුන්නේය.

ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා මේ රැස්වීම් පෙරේදා (30) පැවැත්විණි.

එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

අපට උතුරු මැද ඡන්ද දෙකකට මුහුණ දීමට තිබෙනවා. ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්ද ජනවාරි මාසයේදිත් ඊට පසු පළාත් සභා මැතිවරණයත් පැවැත් වෙනවා. අප ඒ මැතිවරණ දෙකට සූදානම් වෙමු. එමෙන්ම ජයග්‍රහනය කරන්න සූදානම් වෙමු. දැන් ජයග්‍රහනය කරලායි සිතුවොත් අප පරාජයට පත් වෙනවා. එම නිසා ජයග්‍රහනය සඳහා වැඩ කළ යුතුයි. එමෙන්ම අවසන් දවස දක්වා වැඩ කළ යුතුයි. එමෙන්ම අලුත් ක්‍රමවේදයත් වටහා ගත යුතුයි. මේ ආසන කිහිපයේ යොවුන් සංවිධාන තවමත් පිහිටුවා අවසන් කර නැහැ. එය ඉක්මනින් අවසන් කර ගන්න. අප ජයග්‍රහනය කර අවසන් යැයි සිතා වැඩ කරන්නට එපා. අප අලුත් මැතිවරණයකට යා යුතුයි.

වසර දෙකක් ආණ්ඩු කර අප ඇතැම් වැඩ කටයුතු සිදු කර තිබෙනවා. ඇතැම් කටයුතු සිදු කර නැහැ. සියලුම දේ එකවර කිරීමට හැකියාවක් නැහැ. හැකි අයුරින් මේ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. අපි බලයේ කොටසක් ලබාගෙන සිටින නිසා ඉතිරි කොටස ලබා ගැනීමටත් ක්‍රියා කරමු. ඔබ සියලුම දෙනා වසර දහයක් පහළොවක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කළා. අප ඒ කාරණය හොඳින්ම අවබෝධ කර ගෙන සිටිනවා. සමහර අයගේ වැඩ කටයුතු අප විසින් සිදු කර තිබෙනවා. තවත් බොහෝ වැඩකටයුතු සිදු කරන්න තිබෙනවා. මේ ප්‍රදේශ තවත් දියුණු කළ යුතුයි. අනාගතයේ රට භාර ගත යුතු තරුණ පරපුරද මෙහි සිටිය යුතුයි. සියලුම දෙනා එය හොඳින් අවබෝධ කර ගත යුතුව තිබෙනවා.

මේ දිස්ත්‍රික්කය අප බොහෝ කලකින් ජයග්‍රහනය කර නැහැ. ජයග්‍රහනය කිරීමට හැකියාවක් තිබෙනවා. අපේ එකම අරමුණ වන්නේ ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමයි.

මෙරට බල ව්‍යුහය දෙස බලනවා නම් දේශපාලන බලය පරිපාලන බලය, විධායක බලය මට්ටම් තුනක ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇත්තේ බිම් මට්ටම තුළයි. පළාත් සභා ඇත්තේ මැද මට්ටමේයි. ඉහළ මට්ටමේ ආණ්ඩුව පවතිනවා. දැන් අප ජාතික ආණ්ඩුවක කොටස්කරුවන් බව අමතක කළ යුතු නැහැ. මැද මට්ටමේ සහ බිම් මට්ටමේ බලය තවමත් අප සතුව නැහැ. දැන් අපට අවශ්‍යව ඇත්තේ බිම් මට්ටමේ බලය ලබා ගැනීමයි. බිම් මට්ටම ජයග්‍රහනය කළහොත් මැද මට්ටමත් ජයග්‍රහනය කළ හැකියි.

පළමුවෙන්ම කළ යුත්තේ බිම් මට්ටම ජයග්‍රහනය කිරීමයි. ඕනෑම ගොඩනැගිල්ලක් උදාහරණයට ගත්තත් එහි වෙළෙඳ සැලක් ඇරැඹීමට හැකියාව ඇත්තේ බිම් මහල තුළයි. අප එම ජයග්‍රහනය ලබා ගෙන වැඩ කටයුතු ආරම්භ කරමු. අප මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණ ලෙසයි. සමහර අවස්ථාවල සෙසු පක්ෂවල අපේක්ෂකයන් ද අප සමඟ එක්ව වැඩ කටයුතු කරනවා. අපට හැම ඡන්දයක්ම වැදගත්. මෙය අනෙක් මැතිවරණවලට වඩා වෙනස් වූවක් බව කිව යුතුයි. අනාගතයේ පෙරහුරුව ඇත්තේ මෙතැනයි. මෙතැන ඇත්තේ එක මැතිවරණයක් නොවේ. කුඩා මැතිවරණ පන්දහසක් තිබෙනවා. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහනය කළ යුතුයි.

හැම කොට්ඨාසයක් පාසාම අප ඒ වැඩ කටයුතු කළ යුතුයි. ඒ අනුව අපට ඡන්ද පන්දහසක් ජයග්‍රහනය කළ යුතුව තිබෙනවා. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා අප සූදානම් විය යුතුයි. හැම ඡන්ද කොට්ඨාසයකම ඡන්ද පොළ දෙකක් හෝ තුනක් තිබෙනවා. මේ සියලුම ඡන්ද කොට්ඨාස ආවරණය වන පරිදි තරුණ සමාගම් ඇතුළු සමිති සමාගම් ගොඩනැඟිය යුතුයි.

එමෙන්ම අප අපේක්ෂකයන් තෝරා පත් කර ගත යුතුව තිබෙනවා. අප තෝරා ගත යුත්තේ කොට්ඨාසය ජයග්‍රහනය කළ හැකි අපේක්ෂකයන් පමණයි. ජය ගැනීමට බැරිනම් ඔවුන් තෝරා පත් කර ගැනීමෙන් ඵලක් නැහැ. අලුත් ක්‍රමය යටතේ හැම දෙනාටම ජයග්‍රහනය කිරීමට හැකියාවකුත් නැහැ. එය මනාප ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් බව කිව යුතුයි. මේ කොට්ඨාසය ජය ගත හැක්කේ කාටදැයි අවසන් තීරණය ගන්නේ පක්ෂයයි. සංවිධාකයන්ට නම් යෝජනා කළ හැකියි. නමුත් මේ මැතිවරණය ජයග්‍රහනය කළ හැක්කේ කාටදැයි අප අවසන් වශයෙන් තීරණය කරනවා.

තම ප්‍රදේශය ජයග්‍රහනය කිරීම සංවිධායකවරයාගේ වගකීමකි. සංවිධායක යෝජනා කළ කීදෙනකු අප විසින් අනුමත කර තිබේදැයි අප අවසන් වශයෙන් සලකා බලනවා. මේ මැතිවරණ ජයග්‍රහන කළ නොහැකි නම් ඔවුන්ට පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා දීමෙන් ඵලක් නැහැ. පළාත් සභා ඡන්ද පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයටයි. කොට්ඨාස හැදෙන්නේ පළාත් පාලන කොට්ඨාස කිහිපයක් එකතු වීමෙනි. එය කරන්න බැරි නම් දෙවැනි තැනට යන්නට හැකියාවක් නැහැ. අප උත්සාහ කරන්නේ ජයග්‍රහනය කළ හැකි අය තෝරාගෙන ඉදිරියට යාමටයි. එය ඔබ විසින් මතක තබා ගත යුතුයි.

ඒ සමඟම අප ප්‍රචාරණ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. අපගේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඇත්තේ අඩු මට්ටමකයි. ඒ අංශයෙන් බැලූ විට මහින්ද රාජපක්ෂත් අපත් අතරත් වෙනසක් තිබෙනවා.

රාජපක්ෂ කල්ලිය රුපියල් දහයක වැඩ කළොත් රුපියල් සියයක වැඩ කළා යැයි කියනවා. එයින් ද සියයට දහයක් සාක්කුවට දාගන්නවා. අනෙක් අතට අප රුපියල් සියයක වැඩ කළොත් කිසිවක් කියන්නේ නැහැ. ආණ්ඩුවටම බණිනවා. අප කළේ කුමක් දැයි පළමුවෙන්ම අප විසින්ම දැනගත යුතුයි.

මේ ආණ්ඩුව සිදු කර ඇත්තේ කුමක්දැයි පොතක් මුද්‍රණය කර ඔබට ලබා දෙන්නම්. අපේ පාක්ෂිකයන්ට එය ලැබුණු විට පැත්තක නොතබා එය හොඳින් කියවා තේරුම් ගන්න. ඉන්පසු කරුණු දැනගෙන ජනතාවට කථා කරන්න. අප වසර දෙකක් ඇතුළත කළේ කුමක්දැයි එවිට අවබෝධ කර ගැනීමට හැකි වේවි.

හැම ප්‍රාදේශීය සභාවක්ම ආවරණය වන පරිදි තවත් පොතක් මුද්‍රණය කරන ලෙස මා සංවිධායකවරුන්ට දන්වා තිබෙනවා. අප උදවු කර තිබෙන්නේ කිනම් ව්‍යපෘති සඳහා ද, අතීත පාර්ශ්වයන් කළ විනාශය කුමක් දැයි එහි සඳහන් වෙනවා. අප වසර දෙකක් ආණ්ඩුව ගෙන ගියා. බලයට පැමිණි විට අප කළේ කුමක්ද? පළමුවෙන්ම අප 2020 ගැන අවධානය යොමු කළා. 2020 ජයග්‍රහනය කරන්න නම් මේ ආර්ථිකය ගොඩ නැඟිය යුතුයි. ඒ සඳහා අප හොඳ අඩිතාලමක් දැමිය යුතුව තිබෙනවා. අඩිතාලම දමා එහි ප්‍රතිඵල අවසන් වසර තුනේ දී ලබා ගත යුතුයි. මේ කාලයේ අප කළේ ඒ කාරණයයි. පළමුවෙන්ම අප ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ටිකින් ටික ආර්ථිකය දියුණු කර විදේශ ආයෝජන ලබා ගැනීමට මෙන්ම දේශීය ආයෝජන ලබා ගැනීමට අප ක්‍රියා කරනවා. ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ඊළඟ වසර තුනේදීයි.

අප හැම ගමකම පාහේ කුමන හෝ වැඩක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අප ගම් මට්ටමේ ජනතා නියෝජිතයන්ට හැකි අයුරින් උපකාර කළා. පුළුවන් තරම් මුදල් ලබා දුන්නා. ඒ වැඩ ගැන අප කථා කළ යුතුයි. පළමු වසර දෙක ඇතුළත මහ ඡන්දයට අවශ්‍ය පදනම අප විසින් සකස් කළා. සෙසු මැතිවරණ දෙක ජයග්‍රහනය කිරීම සඳහා ගම් මට්මින් වැඩ කරන ලෙස අප ඉල්ලා සිටිනවා. අමාත්‍යාංශවලින් ද ගම් මට්ටමේ වැඩ කටයුතු කිරීම සඳහා උපකාර කළා. එමනිසා ඔබ ඡන්දයකට යන්නේ කිසිවක් නොකර නොවේ. මොනයම් හෝ දෙයක් ඔබ විසින් කර තිබෙනවා.

අතීත පාලකයන් වසර පහළොවක් විස්සක් තිස්සේ කළේ කුමක්ද? අපට බලය දුන් පසුව අප ඉතිරි ටික කරන්නම්. ඒ පණිවිඩය ඔබ ජනතාවට ලබා දෙන්න. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ විශාල කාර්ය භාරයක් සිදු වෙමින් පවතිනවා.

හොඳ ශක්තිමත් ආර්ථිකයක් ලබා දීම අපේ අරමුණයි. මේ ප්‍රදේශයටත් අප විශාල වශෙයෙන් සංවර්ධන කාර්යයන් කර ගෙන යනවා. ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කළා. එමෙන්ම මල්වතු ව්‍යාපාරය සඳහා මා මුදල් ලබා දුන්නා. ඒ අනුව ප්‍රධාන වාරිමාර්ග ක්‍රම දෙකක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ සංචාරක වැඩසටහන යටතේ දඹුල්ල අනුරාධපුරය, පොලොන්නරුව යන ප්‍රදේශ ප්‍රධාන සංචාරක ප්‍රදේශ ලෙස දියුණු වීමට නියමිතයි. ඒ අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගත යුතුයි.

මේ ප්‍රදේශවලට කර්මාන්ත හඳුන්වා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප සතුව දිගු කාලීන සැලසුම් තිබෙනවා. ත්‍රිකුණාමලය දියුණුවට පත් කළ විට එහි වාසිය ත්‍රිකුණාමලයට පමණක් නොව හොරව්පතාන, මැදවච්චිය, හබරණ වැනි ප්‍රදේශවලටත් ලැබෙනවා. කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අනුරාධපුරය දියුණු කිරීම සඳහා අප සතුව තිබෙනවා. 2014 වසරේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් කොන් වී තිබුණා. අපට මිතුරන් හිටියේ නැහැ.

අප ආණ්ඩුවක් නිර්මාණය කළ පසුව ලෝකය දිනා ගන්නා සටන ආරම්භ කරනු ලැබුවා. අද එහි ප්‍රතිඵලය කුමක්ද. ජපානය, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය, රුසියාව, අමෙරිකාව ආදී හැම රටක්ම අපේ මිතුරන් බවට පත්වී සිටිනවා. නැවතත් ලෝකයට ශ්‍රී ලංකාවේ වැදගත් බව වැටහී තිබෙනවා. අපට ඔවුන් උපකාර කරනවා. ඔවුන්ගේ ආයෝජකයන්ට කැමති නම් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි කියනවා. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල විශාල වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වෙනවා. යුරෝපා සංගමය විසින් අපට ජී. එස්. පී. සහතිකය ලබා දී තිබෙනවා. අතීතයේ අපට මේ වැනි සහන ලබා දුන්නේ නැහැ. මානව හිමිකම් උල්ලංඝනය වුණා.

මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වුණා. ලෝක වාර්තාවක් තබා රගර් ක්‍රීඩකයකුත් මරා දැමුවා. ලොව වෙනත් කිසිදු රටක එවැනි චෝදනාවක් ඇතිවී නැහැ. ජාතිවාදය පමණක් නොව ආගම්භේද පවා ඇති වුණා. අවසානයෙ මල්වතු මහනාහිමියන්ට තර්ජනය කරන්නත් පෙළඹුණා. අප මේ තත්ත්වයන් සියල්ල අවසන් කළා. සියලුම ප්‍රශ්න විසඳා තිබෙනවා. අප දැන් උත්සාහ කරන්නේ රට එකතු කරන්නේ කෙසේද? යන කාරණය ඉටු කර ගන්නයි. ජනපති මා මෙන්ම කැබිනට් මණ්ඩලයත් ඒ අරමුණේ සිටිනවා. ජනතාව එකතු කරන්නේ කෙසේද? ජාතිවාදය ආගම්භේදය නැති කර වැඩ කටයුතු කරන්නේ කෙසේ දැයි අප සිතනවා.

අප සෑම සංස්කෘතියක්ම පිළිගත යුතුයි. සෑම ආගමක්ම පිළි ගත යුතුයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී සෙසු ආගම්ද ආරක්ෂා කර ගත යුතුයි. අපේ ප්‍රධානම වැඩ කටයුත්ත වන්නේ එයයි. අප ඒ පියවර දැන් ගෙන තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් සෑදීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කර වසරක් එම මෙහෙයුම් කමිටුවේ අදහස් හුවමාරු කර ගත්තා. දැන් යම් එකඟතාවකට පැමිණ තිබෙනවා.

අප පටන් ගන්නේ ඒකීය රාජ්‍යයක් සමඟයි. අප කිසිවිටකත් ඒකීය රාජ්‍යය දියාරු නොකරන බවට මෙහි දී මා අවධාරණය කරනවා. ඒ ඒකීය රාජ්‍ය තුළ උපරිම බලය බෙදීමටත් අප සූදානම්.

ඒකීය රාජ්‍යය යන වචනය ඇරැඹුණේ දුටුගැමුණු රජ සමයේ සිටයි. දුටුගැමුණු රජතුමා මුළු රටම එකතු කර ගත්තා . එක රටක් බවට පරිවර්තනය වුණා. එක රටක් ලෙස පිළිගැනීම ලැබුණා. සමහර අවස්ථාවල අපට ආක්‍රමණවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප එක රටක් ලෙස පැවතුණා.

මේ එක රට අප ලංකාදීපයට සීමා කළා. කිසිවිටක අප ගිහින් දකුණු ඉන්දියාවේ කෑල්ලක් අල්ලා ගන්න උත්සාහ කළේ නැහැ. අප කිසි දිනක මාලදිවයින අල්ලා ගැනීමට උත්සාහ කළේ නැහැ. එදා සිට අද දක්වා අප මේ දූපතට සීමාවී සිටියා. අප හැමදාම ඒ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගත යුතුයි. මේ දූපතෙන් පිට ගොස් ඉඩම් අල්ලා ගැනීමට අපට අවශ්‍ය නැහැ. අනෙක් අතට මේ දූපත බෙදා වෙන් කරන්නත් අප ඉඩ දෙන්නේ නැහැ.

අතිතයේ දී නම් සියලුම බලය ලබා ගෙන ක්‍රියාත්මක කළේ මහ රජු විසිනුයි. අප එක්සත් වූයේ දුටුගැමුණු රජුගේ සමයේයි. මහ බ්‍රිතාන්‍යය බිහි කිරීම සඳහා දහඅටවන ශතවර්ෂයට යා යුතු වුණා. අප ඊට පෙර එකතු වුණා. එය හැඳින් වූ හොඳම සිංහල වචනය වුණේ ඒකීය යන්නයි. බලයත් භූමියත් එක තැනක තිබෙනවා. අප ඒ වචනය ගෙන කටයුතු කළා. එංගලන්තය, ස්කෝට්ලන්තය, වේල්සය ආදී සියල්ල ගෙන එකට එකතු වුණේ දහඅටවන ශතවර්ෂයේ අවසන් කාලයේයි. මේ නවීන ව්‍යවස්ථා ක්‍රමය ඇති වුණේ ඒ කාලේ බව කිව යුතුයි.

දුටුගැමුණු රජ සමයේ ව්‍යවස්ථාවේ ඒ සංකල්ප තිබුණෙ නැහැ. මහ බ්‍රිතාන්‍ය එක රටක් බව ඔවුන් පැවැසුවා. ඒ රටේ බලය තිබෙන්නේ එක් පාර්ලිමේන්තුවකටයි. ඒ ලන්ඩන් නුවර තිබෙන පාර්ලිමේන්තුවටයි. ඒ පාර්ලිමේන්තුවේ අද වනතුරු ස්වෛරී බලය තිබෙනවා. එය හැඳින් වූයේ යුනටරි රාජ්‍යය ලෙසයි ඒ සමයේදීම අමෙරිකාවේ පෙඩරල් සංකල්පය ලෙස තවත් පාලන ක්‍රමයක් ඇති වුණා. එදා ඇති වූ නව ව්‍යවස්ථා ක්‍රම දෙක එකයි. අප ඒ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවතුණා. ශ්‍රී ලංකාව නිදහස ලැබූ පසු ඩී. එස්. සේනනායක යුගයේ සිට ක්‍රියා ක‍ළේ ඒකීය රජයක් ලෙසයි. ස්වෛරී බලය පාර්ලිමේන්තුව තිබුණා. කිසිවිටක ජනතාවගේ කැමැත්තට එරෙහිව ක්‍රියා නොකළ යුතු බවට සම්ප්‍රදායක් තිබුණා. නීතියක් තිබු‍ණේ නැහැ.

1972 වසරේ දී අප ජනරජයක් වූ අවස්ථාවේ කොල්විල් ආර් ද සිල්වා මහතා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථ‍ාවට ඇතුළත් කළා. එහි ස්වෛරී බලය තිබුණේ පාර්ලිමේන්තුවටයි. එ් සමඟම ඉංග්‍රීසි භාෂාවෙන් යුනිටරි රාජ්‍යයක් ලෙස නම් කළා. සිංහලෙන් ඒකීය රාජ්‍යයක් ලෙසත් යුනිටරි රාජ්‍යයක් ලෙසත් නම් කළා. 1978 ව්‍යවස්ථාවේත් එම වචන සඳහන් කර තිබුණත් එක වෙනසක් කළා. එනම් ස්වෛරී බලය ජනතාවට ලබා දුන්නා. ජනමත විචාරණයකින් ක්‍රියා කිරීම එහි අරමුණයි. ඒ අනුව 1978 වසරේදී අප ඒකීය රාජ්‍ය ඇති කර ස්වෛරී බලය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් ලබා දුන්නා.

1987 වසරේ දී අප 13 වැනි සංශෝධනය ගනවිත් බලය බෙදා හැරියා. එනම් ඒකීය රාජ්‍ය තුළ බලය බෙදා හැරීමයි. එය කළේ ඒකීය සංකල්පයට හානියක් නොවන ආකාරයටයි.

ශ්‍රේෂ්ඨාධිකරණයත් එය අනුමත කළා. මහා බ්‍රිතාන්‍යයේ බලය බෙදා හැරීමක් තිබුණේ නැහැ. නමුත් අපෙන් පසුව ඔවුන් ද 1998 -99 වසරවල ස්කෝට්ලන්තයටත් වේල්සයටත් ඒ බලය ලබා දුන්නා. ඒකීය යන වචනයට එක රටක් යන්න ඇතුළුවී තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ රට වෙන් කර තිබුණේ නැහැ. 2012 වසරේ දී විශාල වෙනසක් ඇති වුණා.

ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් ඇති කළ යුතු යැයි ජනමත විචාරණයකින් පැවැසුවොත් එයට ඉඩ දෙන බව මහා බ්‍රිතාන්‍යය පවසා තිබුණා. එවැනි දෙයක් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නහැ. 2015 දී ස්කොට්ලන්තය වෙන් වෙනවාද නැතිද යන්න ජනමත විචාරණයක් තිබුණා. මහා බ්‍රිතාන්‍යයේ සිටින පිරිස සුළු ඡන්ද ගණනකින් එය ජයග්‍රහනය කළා. මහා බ්‍රිතාන්‍යයට දැන් වෙන්වීමට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යම් පළාතක ජනමත විචාරණයක් පවත්වන්නට අවශ්‍ය යැයි පැවැසුවොත් ඊට විරුද්ධව නඩු පවරා සිරගත කර ඔහුගේ දේපල පවරා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙහෙයුම් කමිටුවේ ද මේ ගැන සාකච්ඡා කරන විට සියලුම පක්ෂ පැවැසුවේ ඒකීය රාජ්‍යයට ප්‍රශ්නයක් නැති බවයි. භෞමික අඛණ්ඩතාවත් ස්වෛරී බවත් ආරක්ෂා කළ යුතු බව ඔවුන් පැවැසුවා. ඒකීය යන වචනයට කිසිම විරුද්ධත්වයක් පළ වුණේ නැහැ. නමුත් යුනිටරි යන වචනය පාවිච්චි කිරීම ගැන යම් භේදයක් තිබුණා. අවසානයේ තිබුණේ මහා බ්‍රිතාන්‍යය තිබෙන අර්ථ නිරූපනයයි. එය අපට වෙනස් කිරීමට හැකියාවක් නැහැ.

පසුගිය වසරේ දී මට ඩයස්පෝරාවේ කෙනෙක් මුන ගැසුනා. අපට දැන් යුනිටරි රාජ්‍යයේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් ස්කොට්ලන්තය වගේ වෙන් විය හැකි බව පැවැසුවා. අප උත්සාහ කළේ මේ ප්‍රශ්නය ව්‍යවස්ථාදායක සභාවේ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමටයි. ඒකීය භාවය දියාරු වෙනවා නම් ඒ වචනය පාවිච්චි කිරීමට බැහැ. ඒකීය වචනය ශක්තිමත් වෙනවා නම් අපට ඒ වචනය පාවිච්චි කළ හැකියි. අද යුනිටරි සංකල්පය කුමක්දැයි රටේත් ව්‍යවස්ථාදායක සභාවේත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයි. නමුත් ඒකීය වචනය එතැන තිබෙනවා.

දෙමළ සන්ධානය තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන විට එකේ සිට අගට යන තුරු ෆෙඩරල් ක්‍රමය සාමාන්‍ය අයිතිවාසිකම් ගැන සඳහන් කළා . 9 වැනි ජේදයේ දී ප්‍රධාන පක්ෂ දෙක මූලධර්ම සඳහා සූදානම් නම් අපත් එය සලකා බැලීමට සූදානම් බව සඳහන් කළා. මෙවැනි දෙයක් කීවේ ප්‍රථම වතාවටයි. ඒකීය රාජ්‍යයක් ගැන සලකා බැලිය හැකි බව ඔවුන් පැවැසුවා.

යුනිටරි වචනය නිසා ඒකීය රාජ්‍ය දියාරු වෙනවාද නැද්ද යන්න කථා කළ හැකියි. ප්‍රධාන කරුණ එය නොවේ. ප්‍රධාන කරුණ වන්නේ ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශ කළ කාරණයයි. ඒ නිසා අප දැන් එක තැනකට පැමිණ තිබෙනවා. එතැන් සිට ඉදිරියට යා යුතුයි. අප ක්‍රියාත්මක වන්නේ එලෙස ඉදිරියට යාමටයි. වසර තිහක යුද්ධය ගැන මේ ප්‍රදේශයේ ජනතාව අපට වඩා හොඳට දන්නවා. ඒ ගැන අලුතින් කිව යුතු නැහැ. අපට අවශ්‍ය යුද්ධය නොවේ සාමයයි. ශ්‍රී ලංකා අනන්‍යතාව සහ එකමුතුකමයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. එලෙස ක්‍රියා කරද්දී කිසි විටක ඒකීය බව යන්න දියාරු විමට ඉඩ දෙන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා

අප ඡන්ද කළේ විපක්ෂයේ සිටයි. ඒකාලයේත් එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසයක් ඇති අය සිටියා. එමෙන්ම පක්ෂය ගැන විශ්වාස කළ බිම් මට්ටමේ නායකයන් සිටියා. අපේ ජනතාව පක්ෂය රැක ගත්තේ ගෙවල් දොරවල් රැක ගනිමින්.

අප සීමිත බලයක් සමඟ ආණ්ඩුව කරන විට එදා මෙන්ම අදත් චෝදනා කරන සුළුතර පිරිසක් සිටිනවා. රාජපක්ෂ නඩයේ පිළිවෙත බොරුවක් පුන පුනා කියමින් එය ඇත්තක් ලෙස ඒත්තු ගැන්වීමයි.

අද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අභියස කුණු කඳු නාය ගිය කඳු ගොඩ ගැසී තිබෙනවා. මහින්ද රාජපක්ෂ සමයේ අගමැති පුටුව බල රහිත පුටුවක් වුණා. නමුත් වර්තමාන තත්ත්වය සහමුලින්ම වෙනස්. ආර්ථික අත්තිවාරමක් දැමීමට අගමැතිවරයාට හැකි වුණා.

පක්ෂයට විවේචන එල්ල වන විට පක්ෂය වෙනුවෙන් කතා කිරීම බිම් මට්ටමේ නායකයන්ගේ වගකීමයි. අප ආවේ වසර පහක් ඉඳලා යන්න නොවෙයි. 2020 ටත් එහා ගමනක් අපට තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය- අප 2015 වෙනස ඇති කිරීමට කොතරම් වෙහෙසක් ගත්තා දැයි මේ ජනතාව දන්නවා. එදා සියලුම ජනතාවට අවශ්‍ය වුණේ මහින්ද ගෙදර යවා ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාපිත කිරීමටයි.

මෙරට දැවෙන ප්‍රශ්න ගණනාවකට විසඳුම් දීමට අපට හැකියාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂය වසර 20ක් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා බොහෝ වෙහෙසුනා. සියල්ල දේශපාලනීකරණයවී තිබූ යුගයක ඒ තත්ත්වය වෙනස් කර සැබෑ ජනතා සේවයක් කිරීමේ ගමන අප විසින් අරඹා තිබෙනවා. මාධ්‍ය සංදර්ශන වෙනුවෙන් අප මුදල් වැය කරන්නේ නැහැ.

ග්‍රාමීය කටයුතු හා පශු සම්පත් ඇමැති පී. හැරිසන් මහතා - අගමැතිවරයා අද මෙහි පැමිණියේ ඉදිරි මැතිවරණය ජය ගන්නා අකාරය පිළිබඳ ඔබේ අදහස් ලබා ගැනීමටයි. අපේ ජනතාවගේ අරමුණ එක්සත් ජාතික පක්ෂ රජයක් ලබා ගැනීමයි.

අප කළ බොහෝ වැඩවල ගෞරවය ලබා ගෙන තිබෙන්නේ වෙනත් පක්ෂවල අයයි. මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු වෙනවා.

එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා - ප්‍රජාතන්ත්‍රවාදය වැළලුණු අවස්ථාවක ලෝකය හමුවේ අප රට කොන් වූ අවස්ථාවක අප බලය ලබා ගත්තා. කෙටි කලක් ඇතුළත රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට අපට හැකි වුණා. අප භාර ගත්තේ ණය බරින් දණ ගැසූ ආර්ථිකයක්.

අපි යහපාලනය අකුරට ගෙන යනවා. ආණ්ඩුවේ අනෙක් කොටස දේශපාලනය කරනවා. අපට රට හදන්න සැබෑ අවශ්‍යතාවක් තිබෙනවා. අද විපක්ෂය මාධ්‍ය සංදර්ශන තියමින් ඇත්ත නැත්ත කරනවා. සැබෑ සංවර්ධනය ජනතාවට පෙන්විය යුතුයි.

කැකිරාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වෛද්‍යසෝම, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක, පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න වෛද්‍යරත්න, ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක නිහාල් කොඩිතුවක්කු, මිහින්තලේ ආසන සංවිධායක සංජීව සිරිවර්ධන, මැදවච්චිය ආසන සංවිධායක ටී. එම්. අමරතුංග, හොරොව්පතාන ආසන සංවිධායක සහීර් මහත්වරු ද සභාව ඇමතූහ.

ශිරෝමි අබයසිංහ අනුරාධපුර තලාවේ සහ කහටගස්දිගිලියේ සිට....
ඡායාරූප හිරන්ත ගුණතිලක 

 

නව අදහස දක්වන්න