මරණයක් ගෙනියද්දී තව මරණ දෙකක් | දිනමිණ

මරණයක් ගෙනියද්දී තව මරණ දෙකක්

ත‍්‍රිකුණාමලයේ සිට කටුනේරිය බලා මෘත ශරීරයක් ප‍්‍රවාහනය කරමින් තිබූ අවමංගල රථයක් ඉබ්බාගමුව, කිරිවවුල ප‍්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ (01 දා) පස්වරුවේ සිදු වූ අනතුරකින් අවමංගල රථයේ රියදුරු සහ රිය සහායක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.
 
මීට දින කිහිපයකට පෙරදී ත‍්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි ධීවරයෙකුගේ මෘත ශරීරයක් මෙම අවමංගල රථයෙන් ප‍්‍රවාහනය කරමින් සිට තිබේ. කිරිවවුල ප‍්‍රදේශයේදී තවත් වාහනයක් පසුකර යන්නට ගිය අවමංගල රථය ඉදිරියෙන් පැමිණි සහල් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටී  ඇති බව පොලිසිය කියයි. අනතුරින් බරපතල තුවාල ලබා මෝටර් රථය තුළ සිරවී සිටි අවමංගල රථයේ රියදුරු සහ රිය සහායකගේ සිරුරු ප‍්‍රදේශවාසීන් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා පිටතට ගත් නමුත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි තිබේ. මෙම අනතුරින් අවමංගල රථය තුළ ප‍්‍රවාහනය කරමින් තිබූ මෘත ශරීරයටද දැඩි ලෙස හානි සිදු වී තිබිණි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 
 
(කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක.)

නව අදහස දක්වන්න