වැඩිහිටි ශක්තිය රටට වැඩට | දිනමිණ

වැඩිහිටි ශක්තිය රටට වැඩට

ජීවත්වීම සංකලනය කර ගත යුත්තේ සිතීම, ක්‍රියාව, කතාව නිසි පරිදි කළමනාකරණය කිරීම මඟිනි. ලොවම ක්‍රියාකාරීව පවතින්නේ මානවයාගේ විශේෂයෙන්ම අත්දැකීම් අවබෝධය හා දැනීමෙන් පෝෂණය වූ වැඩිහිටියන්ගේ උර මතය. කෝටි 600ක සමස්ත ලෝක ජනගහනය දළ වශයෙන් 20% ක් පමණ වැඩිහිටියන්ය. නවීන වෛද්‍ය විද්‍යාත්මක රෝග නිවාරණ ක්‍රම නිසා සෞඛ්‍ය සම්පත ගුණාත්මකව වර්ධනය වීම හේතුවෙන් ඉදිරි වසර 25 ඇතුළතදී වැඩිහිටි ජනතාවගේ “ජීවින අපේක්ෂාව” යහපත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 35% ක පමණ වැඩිහිටි ජනතාවක් අපේක්ෂා කළ හැකිය.

වැඩිහිටියන් ජාතියේ “කෞතක සම්පතකි.” ජීවිතාවබෝධයෙන්, සමාජ අත්දැකීමෙන්, ශිල්පීය, පරිපාලන, ආගමික හා මානව ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම් සම්භාරයෙන් පිරිපුන් මෙම වැඩිහිටි පරපුර රැකබලා ගැනීම, ඔවුන්ට අවශ්‍ය ආර්ථික, ශාරිරීක, මානසික හා සමාජීය රැකවරණය ලබාදීම වර්තමාන ළමා තරුණ පරපුරේ යුතුකම අභිලාෂය ද වගකීම විය යුතුය. බටහිර කාමභෝගී පරිභෝජන රටවල් මෙන් වසරකට දුරකථනයෙන් සුබපැතීම, මල් කලඹක් යැවීම, ආහාර බඳුනක් දීම වැනි ප්‍රාථමික සරල වංචනික වැඩිහිටි සත්කාර ක්‍රම ප්‍රචලිත වන ලෝකයක ශ්‍රී ලාංකික වැඩිහිටියෝ සාපේක්ෂව හෘදයාංගම ජීවන රටාවක ආශ්වාදය හා තෘප්තිය ලබති.

“වැඩිහිටි නිවාස” සංකල්ප උපතේ සිටම විපත දක්වා මව්පියන්, ඥාතීන් හා වැඩිහිටියන් අතරේම ජීවිතය ජීවත් කරවන බෞද්ධ පසුබිමක පෝෂණය වන ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙන දෙයක් නොවේ. වසර 18 තරුණ තරුණියන් නිවසින් වෙන් වී ජීවත්වන බටහිර රටවලට ගැළපෙන එම ක්‍රමය අප ජන සමාජයට බද්ධ කිරීමේ ව්‍යාපාරයක් ලංකාවේද ක්‍රියාත්මක වේ. වැඩිහිටි නිවාස ඉදිකිරීම රාජ්‍ය නොවන සංවිධාන මඟින් ව්‍යාප්ත කරන මුදල් ගනුදෙනුවකි. එසේ වූවද, “ආබාධිත ප්‍රජා පුනරුත්ථාපන” වැඩසටහනට සමරූපීව “වැඩිහිටි ප්‍රජා සහන සේවයක්” ලංකාවට උචිතය. එමඟින් වැඩිහිටියන් තම පවුල් සාමාජිකයන් අතරේම රඳවාගෙන උපස්ථාන කළ හැකිය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඔවුන්ට අවශ්‍ය මුදල්, ස්වයං රැකියා, පොත්පත්, උපකරණ ආදී සහනයක් ලබාගත හැකිය. වැඩිහිටියන් යනු ජීවිතයේ දෙවන ළදරු අවස්ථාවයි. ඔවුන්ගේ හැසිරීම් සිතිවිලි ක්‍රියාකාරකම් ළදරු චර්යාවන්ට සමාන වේ. එම නිසා කළ යුත්තේ උපරිම මානසික සහ නම්‍යශීලීභාවය අගය කිරීම, ඇහුම්කන්දීම, ආගමික කටයුතුවලට යෙදවීම වැනි සිත සන්සුන් කරන මනසින් ඔවුන් තනි නොකරන පරිසරයක ඇති දැඩි කිරීමය.

රාජ්‍ය සේවයේ යෙදී සිටි විශ්‍රාමලත් රාජ්‍ය සේවක බහුතරයකින් රටට ඵලදායි මෙහෙවරක් ලබාගැනීමේ ඉඩකඩ ද ඇත. පසුගිය 50 වසර තුළදී මහජන සේවයේ යෙදුණු පරිපාලකයින්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, තාක්ෂණ ශිල්පීන්, විද්වතුන්, මහාචාර්යවරුන්ගෙන් වැඩිදෙනකු විශ්‍රාම ගොස් සිටිති. ඔවුන්ගේ දැනීම, අත්දැකීම, පළපුරුද්ද, ශිල්පීය දක්ෂතාව හා විවිධ නිපුණතා සමාජ යහපතට උකහා ගැනීම සඳහා වැඩිහිටි පුහුණු මිනිස් සංචිතයක් පිහිටුවා එමඟින් සමාජ, ආර්ථික, ජන සන්නිවේදන, දේශපාලන හා නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගත හැකිය. මෙය අමෙරිකාව, ස්විස්ටර්ලන්තය, කැනඩාව හා ස්විඩනය වැනි දියුණු රටවල ක්‍රියාත්මක වේ. වසර 100ක පර්යේෂණයකින් පසුව පසුගිය වසරේ ජූනි මසදී සිරුරේ ජාන පද්ධතියේ (ඩී.එන්.ඒ.) අන්තර් ක්‍රියාවලිය (ඒ.බී.සී.) විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් හෙළිදරව් කරන ලදී. ඒ අනුව රෝග සෑදීමේ මූලයන් ජීවත්වීමේ කාලය දීර්ඝ කිරීමේ සාධක අනාවරණය කර ඇත.

මෙහි එක් සාධනීය ලක්ෂණයක් වන්නේ ලෙඩරෝග අඩුවීමත් ආයු කාලය දීර්ඝ වීමත්ය. වැඩිහිටි ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එහි අතුරු ඵලයකි. 2050 වනවිට දකුණු ආසියානු කලාපයේ ජනගහන අනුපාතය දෙගුණ වන බැවින් ඔවුන් සඳහා සුබසාධනයට අවශ්‍ය පියවර ගැනීමට මානව ප්‍රේමීන් දැන් සිටම සූදානම් විය යුතුය.

මිනිසා උත්පත්තියේ සිටම මරණය දක්වාම හැම දෙයක්ම කරනුයේ තම ජීවිතය අභ්‍යන්තරයේ ලැගුම්ගෙන ඇති “තනිකම” නමැති මනෝභා‍වයෙන් අත්මිදීමටය. සමාජීය ජීවිතයෙන් පවුල් සංස්ථාවෙන් වෙන්වූ වැඩිහිටියන් සහෘදයන්ගෙන් ආදරය, රැකවරණය, ආරක්ෂාව නොලැබෙන විට ලෙඩරෝගවලට ගොදුරුවීම, උන්මාදයට පත්වීම, කාම අපරාධවලට පෙලඹීම, පදිංචි නිවසින් පිටවීම හා සියදිවි හානිකර ගැනීමට පෙලඹීමට ඇති ප්‍රවණතාව වැඩිය. මෙම තත්ත්වය මානසික මෙන්ම ශාරිරිකවද බලපායි. දෛනික ක්‍රියාකාරකම් තම අඹු දරුවන් මෙන්ම අතීත සිදුවීම්ද අමතක කරවන “ඇල්ෂීමර්” රෝග තත්ත්වය බොහෝ වැඩිහිටියන් තුළ දක්නට ඇත්තේ එම නිසාය.

රජය හා අදාළ බලධාරින් විසින් කාමභෝගී බටහිර රටවලට අනුගත වෙමින් ජනතාව ලවා වැඩිහිටියන්ට උපස්ථාන කිරීමට සම්මත කර ඇත්තේ වසරකට එක් දිනයකි. ඒ ඔක්තෝබර් පළමු වැනිදාය. වැඩිහිටියන් නෑවීම, කෑම, ඇඳුම් දීම, ඇස්කණ්ණාඩි, රෝදපුටු ලබාදීම, කථික, චිත්‍ර, රචනා තරග පැවැත්වීම, සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි සරල ක්‍රියාවන් වසරකට එක් දිනක් පමණක් ක්‍රියාවට නැංවීම පමණක් ප්‍රමාණවත් නොවේ.

වැඩිහිටියන් යනු තම ප්‍රතිරූප ධනය දේශපාලන අරමුණු හා වෙළෙඳ අරමුණු ඉටුකිරීමට භාවිත කරන “ප්‍රදර්ශන භාණ්ඩයක්”ද නොවේ. වැඩිහිටියා රටේ ජ්‍යෙෂ්ඨතම පුරවැසියාය. වැඩිහිටියා යනු “අසරණයා”යන පදයට යොදන සමාන පදකයක්ද නොවේ. වැඩිහිටි සත්කාරය “සප්ත අපරිහානිය” ධර්මතාවයේ එක් අංගයකි. සමාජ අනාරක්ෂිතභාවය නිසාවෙන් 2004 වසර තුළදී ලංකාවේ හදිසි අනතුරුවලින් මියගිය පුද්ගලයින් අතරින් වැඩි ප්‍රතිශතය ලෙසට වාර්තා වී ඇත්තේ ද වැඩිහිටියන්ය.

වැඩිහිටියන් සමාජ සංස්ථාව නමැති දේහය විසින් හපා තලුමරා ඉවත දමන “දැහැටි දණ්ඩක්” ද නොවේ. දරු දැරියන්ගේ පෞරුෂය වර්ධනය වන්නේ ද වැඩිහිටියන්ගේ උපදෙස් ආදර්ශය හා මඟපෙන්වීම අනුවය. එහෙත් වර්තමාන තරුණ පරපුර වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපදිනවා තබා ඒ ගැන අවධානයක්ද යොමු නොකරති. වර්තමානයේ යෞවනයේ ජීවන මාර්ගය සකස් වී බොළඳ ටෙලිනාට්‍ය චරිත හා නූගත් ළාමක රූපවාහිනි නිවේදක නිවේදිකාවන්ගේ හරසුන් වාගාලාපණය මතිනි. ශාරීරික දුර්වලතාවයන්ට වඩා වැඩිහිටියන් විඳවන්නේ එම ආධ්‍යාත්මික නොසලකා හැරීම් නිසා ඇතිවන ආත්මීය තනිකම ය. ඒ අතරේ ඔවුන් යම් තරමක සැනසිල්ලක් ලබන්නේ තම දූ පුතුන්ගේ සෙනෙහසින් නොව මුනුබුරු මිනිබිරියන් විසින් පෙන්වන සෙනෙහස ළෙන්ගතුකම තුළිනි.

වැඩිහිටි විය ජීවිතයේ දෙවන ළදරු අවදියයි. ශාරිරිකව පමණක් නොව මානසික හා ආධ්‍යාත්මික වශයෙන්ද වැඩිහිටියන් එවන් තත්ත්වයකට පත්ව ඇත. ඔවුන් තුළ ඇත්තේ වසර 60 – 70 තුළ ලබාගත් ජීවන අත්දැකීම් සහ අවබෝධය පමණි. නූතන පරිගණක හා විද්‍යා තාක්ෂණික දැනුම් සම්භාරය හමුවේ වැඩිහිටියන් ළදරුවන්ය. අවුරුදු 15 – 22 අතර පාසල් හා සරසවි සිසුන්ගේ ජීවිත හා විශ්ව දැනුම හා වැඩිහිටි දැනුම අතරේ මහත් දැනුම් පරතරයක් ඇත. වැඩිහිටියන් සිතන්නේත් උපදෙස් දෙන්නේත් සම්ප්‍රදායික අභිමතයක් අනුවය. එහෙත් ඔවුන්ගේ දරු පරපුර සිතන්නේ හා ක්‍රියා කරන්නේ “මටසිළිටි හා තර්කානුකූල” වෙනස් වූ මෙන්ම විවිධ ආකල්පයන් අනුවය. වැඩිහිටියන් ශාරිරිකව දුර්වල වන්නාක් මෙන්ම මානසිකව තිරිහන්වීමට ඔවුන් ඇසුරු කළ යුත්තේ වෛද්‍ය විද්‍යා තාක්ෂණික හා අධ්‍යාත්මිකව දිනෙන් දින අලුත් වෙන විශ්වයේ හැඩතලයට අනුගත වූ නව යෞවන යෞවනියන්වය. එය හා බද්ධවීමට නොහැකි වැඩිහිටියන්ගේ අවසාන ජීවන නැවතුම්පොළ වී ඇත්තේ පන්සල, භාවනා මධ්‍යස්ථාන, අගුපිල්, වැඩිහිටි නිවාස හා තැබෑරුම්පොළවල්ය.

අමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල වැඩිහිටියන්ගෙන් 95% ක් පමණ ජීවත්වන්නේ වැඩහිටි නිවාසවලය. පවුල්වලට බරක් වී ඇති එම වැඩිහිටි පරපුර ලංකාව, ඉන්දියාව, කාම්බෝජය වැනි රටවල සමාජයට සම්පතක් වී ඇත. එහෙත් ජනමාධ්‍ය, දේශපාලන, ආගමික හා පරිපාලන ක‍්ෂේත්‍රවලදී වැඩිහිටි උපදෙස් හා ගුරුහරුකම් උකහාගැනීම අවම මට්ටමක පවතී. ආත්ම ලාභය හා උදර පෝෂණය සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 65 තෙක් දීර්ඝ කර සුළු පිරිසක් පරිපාලන යන්ත්‍රයේ ‘නවාතැන්කරුවන්’ බවට පත්කිරීමට යෝජනා කර ඇතත් බහුතර වැඩිහිටි පිරිස හුදකලාව නිවාසගතව ජීවත් වෙති.

උඩුහිත - යටිහිත හා භවාංග සිත වශයෙන් මනස ස්ථර තුනකට බෙදා ඇත. ගැඹුරු හා වටිනාම හර පද්ධතීන් තැන්පත්ව ඇත්තේ භවාංග සිතේය. එමෙන්ම මානවයා ළමා සහ යෞවන යුග පසුකර වැඩිහිටි බවට පත්ව දැනීමෙන් හා පළපුරුද්දෙන් පරිණත වෙමින් විසඳ කරන ජීවිත ඥාන දර්ශනයෙන් සමාජය පිරිපුන් විය යුතුය. එහෙත් ප්‍රායෝගික ක්‍රියාවලියේදී වැඩිහිටි මතවාද හා තාරුණ්‍යයේ ආකල්ප අතර දැවැන්ත හිඩැසක් රික්තයක් පවතී. ආයතනික පරිපාලන හා පවුල් සංස්ථා අතරේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී උක්ත පරතරය බාධකයක් වී ඇත. අවනතවීම, ඇහුම්කන්දීම, අනුවර්ථනයවීම, අගය කිරීම, අවධානය යොමුකිරීම හා අවශ්‍ය ලෙසට සකස්වීම වැනි මානව යහගුණවලින් තරුණ වැඩිහිටි මතගැටුම් හා නොගැළපීම් අවම කර ගත හැකිය.

සමාජ, දේශපාලන, ආර්ථික, පාරිසරික හා ආගමික ගැටලුවලින් ‘ආතුර වී’ ඇති වත්මන් සමාජගත රෝගය මමත්වය මත පදනම් වූ යල්පැන ගිය වැඩිහිටි ප්‍රතිකාරවලින් සුවපත් කළ නොහැක. ඔවුන්ගේ උපදෙස් හා මතවාද ජීව කාලය ඉකුත් වී ගොස් ඇත. එදා කළ කී දෑ දෙස ඔවුන් විසින් කියනවා විනා දෛනිකව චලනය වන වෙනස් වන නූතන සමාජ ආර්ථික, මානව පදනම යහපත් කිරීමට කළ හැකි දේ කළ යුතු දේ පවසන වැඩිහිටි පිරිස ඉතාමත් අල්පය. බහුතර වැඩිහිටියන් ‘සුන්දර ළෙන්ගතු’ බරක් තම අඹු දරුවන්ට දෙමින් මානසික සරණාගතයන් බවට පත්ව තම නිවසේ හෝ දරුවන්ගේ නිවාසවල හෝ ජීවත් වෙති.

අනුකාරකවාදී හා ආත්මලාභී මතවාදවලින් වැඩිහිටියන් නිරීක්ෂණය නොකර තම ලෙය, ආදරය, කඳුළ, දාඩිය, ශ්‍රමය, මුදල් හා ජවය කැපකර අපේ පරම්පරාව සකස් කළ වැඩිහිටියන්ට අවශ්‍ය ආදරය, රැකවරණය, ආරක්ෂාව, පෝෂණය, සුබසාධනය ලබාදී කොන්කර දැමීම නොසලකා හැරීම වැනි පීඩාවන්ගෙන් ඔවුන්ව මුදාගත යුතුය. වැඩිහිටියන්ට අවශ්‍යව ඇත්තේ ආහාර, බෙහෙත්, ඇඳුම් රැකවරණයට වඩා තම හිතවත් දරුවන්ගේ බිරිඳගේ, නෑදෑයින්ගේ ආදරයයි. සෑම වැඩිහිටියෙක්ම තම මව සහ පියා ලෙස සලකන මව්පිය ගුණ සුවඳ හඳුනන දයාබරිත මිනිස් ප්‍රජාවක් බිහිවේවා.

ආර්. ඩබ්. අමරසිංහ 

නව අදහස දක්වන්න