මල්වලින් ජීවිතය වර්ණවත් කරගත් කටානේ කාන්ති | දිනමිණ

මල්වලින් ජීවිතය වර්ණවත් කරගත් කටානේ කාන්ති

මල් සුන්දර ය. එමෙන් ම පිවිතුරු ය. කුමන තරාතිරමක අයකුට වුව ද, මල් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි ය. එවැනි මල් ඔපවත් කරන්නට දහඩිය ශ්‍රමය කැප කිරීම සෑම කෙනකුටම කළ නොහැකි ය. එහෙත් කටාන ආඬිමුල්ලෙහි පදිංචි කාන්ති ප්‍රේමරත්න, මීට වසර කිහිපයකට ඉහත දී තමන්ගේ ජීවිතය මල් මෙන් සුන්දර කර ගන්නට සිතුවේ, කවදා හෝ දිනක ජීවිතය ද වර්ණවත් කර ගැනීමට ය.

"මීට අවුරුදු 15 කට ඉස්සර දී තමයි මම මල් වගාව කරන්න පටන් ගත්තේ. මුලින් ම කළේ ජේබ්‍රා වගාව. ඊට පස්සේ මම හිතුවා විවිධ වර්ගයේ පැළ වගා කළොත් හොඳයි කියලා. විසිතුරු මල් පැළ, එළවළු පැළ, පලතුරු පැළ වර්ග මම වගා කරන්න ගත්තට පස්සේ, ම‍ගේ ආදායමත් වැඩි වුණා. මට මගේ සෑම වැඩකටයුත්තක් සඳහාම උපකාර කරන්නේ මගේ සැමියා. ඔහු නැත්නම් මට මේ කිසිම දෙයක් කරන්න බැරි වෙනවා.

පැළයක් හදන්න ඕන හරියට දරුවෙක් හදනවා වගෙයි. කලට වේලාවට ‍වතුර, පොහොර දාන්න ඕනැ. තදට අව්ව පායන කාලයට දවසට දෙවරක් අනිවාර්යයෙන් ම මල් පැළවලට වතුර දාන්න වෙනවා. නැත්නම් පැළ මැරෙනවා. ඒ වාගේ ම පැළයකට විවිධ රෝග බෝ වුණහම, ඒ දිහා හොඳින් නිරීක්ෂණය කරලා, නිසි ප්‍රතිකාර කරන්නත් මතක තබා ගත යුතුයි. පැළයක් නිසි ආකාරයට වගා කරනවා නම් , දිනපතා නීරීක්ෂණය කළ යුතුමයි.

මල් පිරිලා තියෙන විසිතුරු මල් පැළයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන කොට, ඒ පැළය නිරෝගී වෙන්න ඕනැ. නැත්නම් මොන තරම් ලස්සන වුණත්, පාරිභෝගිකයෝ ඒ පැළ මිලදී ගන්න කැමැති නෑ. ඒ නිසා, පාරිභෝගිකයාගේ සහ අප අතර තිබෙන විශ්වාසය සමහර අවස්ථාවලදී පළුදු වෙලා යනවා.

මෙය හොඳ ආදායමක් ලබන්න පුළුවන් රස්සාවක්. ගෘහනියකට තමන්ගේ ගේ දොර වැඩකටයුතු කරගෙන යන ගමන් කරන්න පුළුවන් හොඳ ම රැකියාවක් විදිහට මේ ස්වයං රැකියාව හදුන්වන්න පුළුවන්. උනන්දුව, උත්සාහය වගේම කැපවීම තියෙනවා නම්, ගැහැනියකට කරන්න බැරි දෙයක් නැහැ.ඒ නිසා, නිවෙසට වී නිකරුනේ කාලය ගත කරමින් රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙලා මුළු කාලයම විනාශ කර ගන්න ගෘහණියන්ට, මේ වගේ දෙයක නිරත වුණොත් මානසික සහනයත් නොඅඩුව ලබා ගන්න පුළුවන්. සැමියාගේ ආදායමට අමතරව, තමන්ටම ආදායමක් උපයාගෙන, හොඳින් ජීවත් වෙන්න හැකියි." ඇය පවසන්නීය.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න