පොල් ගෙඩියක් රු. 65ට ලක්ෂ දහයක් අද සිට රට පුරා බෙදා හැරේ | දිනමිණ

පොල් ගෙඩියක් රු. 65ට ලක්ෂ දහයක් අද සිට රට පුරා බෙදා හැරේ

සිතාරා සේනානි

පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් රුපියල් 65ක සහන මිලට රට පුරා පොල් ලක්ෂ 10ක් බෙදා හැරීම ඊයේ (2) සිට ආරම්භ කැරිණි.

මෙසේ සහන මිලට බෙදා හැරෙන පොල් තොග රැගත් ලොරි රථ පළාත් කිහිපයකට පිටත් කර යැවීම බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසලින් ඊයේ ආරම්භ විය. එයට අමතරව එම ස්ථානයෙන් ද පාරිභෝගිකයා සඳහා සහන මිලට පොල් මිලදී ගැනීමේ අවස්ථාව සලසා තිබුණි.

ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල රුපියල් 65 සහන මිලට පොල් බෙදා හැරීම ඊයේ සිට ආරම්භ වූ අතර, ඉදිරි සති දෙක ඇතුළත රට පුරා සියලු පළාත්වල එම අලෙවිය සිදුකිරීමට නියමිත ය.

මීට අමතරව, සතොස අලෙවි සල් මඟින් ද අද (3) සිට සහන මිලට පොල් ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙන බව පොල් වගාකිරීමේ මණ්ලයේ සභාපති කපිල යකන්දාවල මහතා එහිදී මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය. පොල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවමින් පාරිභෝගිකයා හා රජය අපහසුතාවට පත් කරන කළුකඩ මාෆියාවට එරෙහිව මෙම පියවර ගත් බවත් සභාපතිවරයා කීය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගාකිරීමේ මණ්ලය මඟින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාමක කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ඊයේ දිනයේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත පොල් ලොරි 40 පමණ පිටත් කර හරීමට කටයුතු යොදා තිබූ බවද හෙතෙම පැවැසීය. මෙම ලොරි රථවලින් සහ සතොස අලෙවිසල් මඟින් එක් පාරිභෝගිකයකුට උපරිම ගෙඩි 10ක් වශයෙන් මිලදී ගත හැකි බවත් කීය.

සහන මිලට ලබා දෙන පොල් වෙළෙඳුන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම පොල් ගෙඩිවල විශේෂිත වර්ණයක් ආලේප කිරීමට පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා පැවැසීය. විශේෂයෙන් ම ගොවීන්ගෙන් ලබා ගන්නා පොල් කෙලින් ම පාරිභෝගිකයා වෙත ලබා දීම නව වැඩපිළිවෙළ මඟින් සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

 

නව අදහස දක්වන්න