සුප­සන් මිනි­සුන් අතරේ.... | දිනමිණ

සුප­සන් මිනි­සුන් අතරේ....

ශාන්ති දිසානායක

බිනර මහේදී ආරාධනා ආදියෙන් අඩුවක් නැත්තේය. දුරකතනයෙන් හා තැපෑලෙන් කරනු ලබන ඇරයුම් ඇතැම් විට ප්‍රතික්ෂේප කළ හැකි වුවද නිවෙසටම පැමිණ කරන සාදර ආරාධනාවන් ප්‍රතික්ෂේප කරන්නට තරම් අකාරුණික වන්නේ කෙලෙසද?

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සාහිත්‍ය කලා උත්සවයට සහභාගි වූයේද අදිමදි කරමින් හා සුපුරුදු සංත්‍රාසයෙන් බව සැබෑය. එහෙත් ප්‍රාදේශීය ලේකම් පරිශ්‍රය තුළ නොව ඉඩකඩ සහිත එළිමහන් බිම අලංකාර වේදිකාවද අතිශය නිර්මාණාත්මක පොල්තෙල් පහන ද දුටු සැණින් මේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව හද පත්ලෙන්ම සතුටු වීමි.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය සාජිදා බානු මහත්මියගේ පිළිගැනීමේ කතාවද අතිශයින් අරුත්බර විය. ඇය ඉතාමත් චතුර ලෙස සිංහල භාෂාව හසුරුවන අයුරු මා බලා සිටියේ ලැජ්ජා සහගත හැඟීමෙනි. සහෝදර ජන වර්ගයන් සිංහල භාෂාව උගැනීමට දක්වනු ලබන උනන්දුව හා කැමැත්තද සිංහල අප තුළ දෙමළ භාෂාව උගැන්මට ඇත්තාවූ මන්දෝත්සාහී බවද මම යළි යළි සිහි කළෙමි. මේ රටේ සියලු පුරවැසියන් මේ ප්‍රධාන භාෂාවන් දෙක මනාව දන්නේ නම් බොහෝ ගැටලු හා අර්බුද පැන නොනඟින බව මම හඟිමි.

ප්‍රවීණ ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ සාධුජනරාව ප්‍රසංගය ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සාහිත්‍ය කලා උත්සවයට එක් කළ අලංකාරය ද අගය ද වචනයෙන් කියා ලියා නිම කළ නොහැක. ජාති බේදය පිටු දකිමින් ජාතික සමඟිය උදෙසා ජයතිලක බණ්ඩාරයන් ප්‍රමුඛ කණ්ඩායම කරනු ලබන සේවය නිසි ඇගයීමකට ලක්ව ඇත්ද යන්නද ගැටලු සහගතය. රජය කළ යුතු කාර්යභාරයක් මැනවින් ඉටු කරන ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය නොහැක්කේ මන්ද? ජාතීන් අතර විරසකකම් දුරලන්නට, සමඟිය සංහිඳියාව ගොඩනඟන්නට යහපාලන රජය මීට වඩා ඇපකැප විය යුතුය. එහිදී සාධුවනරාව කණ්ඩායම නොතකා හරින්නට රජයට කිසිසේත්ම නුපුළුවන. බෙල්වුඩ් සෞන්දර්යය ආයතනයේ කලෙයිවානන් විශ්වනාදන් සභානන්දන් සංගීතවේදියා ගැයූ දෙමළ ගීත රස විඳින්නට අපට භාෂාව ගැටලුවක් නොවීය. කමලහසන් නම් දමිළ නළුවා ප්‍රධාන චරිතය රඟපෑ නායකන් චිත්‍රපටයේ නැලවිලි ගීතයට අපි මහත් ආශාවෙන් සවන් දුන්නෙමු. සංගීතයෙන් අනර්ඝ සහායක් දැක්වූ විශාරද කුමාර එප්පාවල, ලහිරු ගෝමස්, මනෝජ් ප්‍රියදර්ශන හා චරිත් දිසානායක ද සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක්විය යුතුය. ඈත දුෂ්කර ගම් දනව් කරා වෙහෙසකර චාරිකාවක නිරත වෙමින් අප සැම එකම මිනිස් කුලයේ බව කියාපාන්නට දරන්නාවූ මධුර මනෝහර ව්‍යායාමය උදෙසා ජයතිලක බණ්ඩාරයන් ප්‍රමුඛ සාධුජනරාව කණ්ඩායමට ජාතිවාදය පිටු දකින සියලු දෙනාගේ ගෞරවය පිරිනැමිය යුතු වග වෙසෙසින් සඳහන් කරමි.

පාසල් දරුවන් ද සහභාගි වූ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සාහිත්‍ය කලා උත්සවය වෙනුවෙන් වෙහෙසුණු සංස්කෘතික නිලධාරි ඉන්දිකා සංජීවනී, නිවේදන කටයුතු කළ ඩබ්.එම්. වන්නිනායක සොහොයුරා, ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වූ ලේඛක වසන්ත සෙනෙවිරත්න මහතා මෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුව ද, ලංකා බැංකුව ද, ඉපලෝගම පොලීසිය ද, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා සහ හරවත් සහ රසවත් කතාවක් කළ පළාත් අධ්‍යයන ජාතික පොලිස් කොමිසන් සභාවේ කුලතුංග හෙට්ටිආරච්චි නම් විද්වත් වෘත්තිකයා ද ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතුය.

සාහිත්‍ය උත්සව සාහිත්‍ය මාසයට පමණක් සීමා වන බවට මැසිවිලි හා චෝදනා නැඟුණද වසරේ එක් වකවානුවක හෝ මෙවන් ප්‍රබෝධයක් ඇති වීම අගය කළ යුතුය.

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සේවය කරන සුරේෂ් සොහොයුරා ද මේ මාහැඟි අත්දැකීම මට තිළිණ කරන්නට දායක වූ බව කෘතවේදී සිතින් සඳහන් කරමි.

ත්‍යාග හා සහතික පත් ලබාගත් පාසල් දරු දැරියන් මෙන්ම විවෘත අංශයේ ජයග්‍රාහී නිර්මාණකරුවන්ද පත පොතට ලැදිව අකුරු අමුණමින් ජීවිතයේ විඩාව සන්සිදුවා ගන්නා අතරම අපූර්වත්වය හා රසවින්දනය ද සැබෑ වෙනස ද පසක් කර ගන්නවා නො අනුමානය. 2017 සාහිත්‍ය කලා උත්සවය මේ සා මනහර අයුරින් පවත්වන්නට නොමසුරු දායකත්වය ලබා දුන් ප්‍රාදේශීය ලේකම්තුමිය සාජිදාබානු මහත්මිය නැවත වරක් ගෞරවයෙන් සිහි කරමි. අලුත් ගන්තිරියාගම විදුහලේ විදුහල්පති H.M. සමීන් මහතා හටද ස්තූතිවන්ත විය යුතුය.

‘නිදිමතයිනෙ අම්මා ...’

‘අ‍ෙන් අපට ඕවා තේරෙන්නෑනේ’ යි මැසිවිලි නඟමින් සාහිත්‍ය උත්සව මඟහරින මගේ නිවුන් පුතුන් සිහි වූයෙන් මුවඟ නැඟි මදහස සඟවා ගතිමි. ඒ හැම සාහිත්‍යයෙන් දුරස්ව තාක්ෂණය වැලඳ ගන්නට වෙර දරන සියලු දරුවන් කෙරෙහි හටගත් දයානුකම්පාවෙන් ද, සියුම් කලකිරීමෙන් ද සුසුමක් හෙළුවෙමි.

නව අදහස දක්වන්න