නෙත සිරි මවන දිය සරු උයන | දිනමිණ

නෙත සිරි මවන දිය සරු උයන

සොබා දහම සුන්දරත්වයේ හා සන්සුන් බවේ සබැදියාවකි. මිනිස් සංහතිය ස්වාභාව ධර්මයට හානි කළ ද මානවයාට සියලු ප්‍රතිලාභ ලබා දෙනුයේ සොබා දහමයි. නාගරික පරිසරය අතිශය ජනාකීර්ණය. නගරය තුළ පරිසරයක සුවය විඳීම වෙනුවට බිහිව ඇත්තේ කොන්කක්‍රීට් වනාන්තරයි. නමුත් වර්තමානයේ අගනුවර පිහිටි ගැමි පරිසරයක සිරි විසිතුරු මවන උද්‍යානයක් නරඹන්නට අපට අවස්ථාව ලැබුණි.

ඒ ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නාවට බටහිර දෙසින් වූ “දියසරු උයන ”යි. එම නම සඳහන් නාම පුවරුව දුටු සැණෙන්ම මෙම ස්ථානය කුමක් දැයි සොයා බැලීමේ කුහුලක් මා සිත්හි පෙරළි කරන්නට විය. කෙමෙන් ඉදිරියට ගමන් කළ අපට එළියෙහි නොපෙනුණු සුන්දර පරිසරයක් දෑස් මානයේ මැවෙන්නට විය. මෙම උද්‍යානය අක්කර 60 ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති හෙයන් නිමක් කොනක් නොදත් අප සමඟ සංචාරයට එක් වූයේ පරිසර නිලධාරී සඳුන් මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු න දී මහත්මියයි.

දැඩි අව් රශ්මියක් පැතිර යන මොහොතක අප මෙම උද්‍යානයට ගිය මුත් තුරු ලතාවන්ගෙන් ගහන වූ මේ ප්‍රදේශයෙන් හමා එන සිසිලස විඩාව දුරු කරන්නට ශක්තියක් විය. අධ්‍යයන කාර්යය සඳහා නිමවා තිබුණු පොල් අතු සෙවිලි කළ තාවකාලික නිවෙස්හි ගෙබිම දැවයෙන් නිමවා තිබීමද ඉතාමත් ප්‍රිය ජනකය. එළිමහන් අධ්‍යයන කලාපය තුළ ද දැවමය බංකුවලින් නිර්මිත ප්‍රදේශය සිත් ඇද ගන්නා සුලුය.

කෘතීම පොකුණු, ඇළ මාර්ගයන්ගෙන් වෙන් වුණ පත්, ශාක විශේෂ, සත්ත්ව විශේෂයන්ගෙන් සමන්විත මෙම විස්මිත නිර්මාණයේ කලාකරුවානන් වන්නේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එන්.එස් විජේරත්න මහතායි. නාගරික පරිසරයෙන් ඈත්ව යන අතීතයේ ගැමි පරිසරය තුළ නිරතුරුවම දැකගත හැකි ශාක විශේෂ වන දං, බෝවිටියා උද්‍යානයේ දැක ගත හැකි විය. පක්ෂීන් නැරඹීම සඳහා තනා ඇති ස්ථානය මුළු උද්‍යානයේම සිරි විසිතුරු නැරඹීමට සුදුසු ස්ථානයකි.

ඈතින් දිස් වෙන නිල් පාට තණ පළසෙහි වසා සිටින පක්ෂීන් සමූහයා අප සිටින දෙසට දිස් වන්නේ මුතුකැට සේය. මෙම උද්‍යානයේ තෙත් බිම් ආශි‍්‍රව දැක ගත හැකි සංක්‍රමණික පක්ෂි විශේෂ 80 ක් පමණ සිටින බව වාර්තා වේ. පහළට පෙනෙන ඇළෙහි ජල තලයෙහි චණ්ඩිකම් කරන මාළු පැටවු උඩ පනිමින් සිටින අයුරු දිස්වේ. මත්ස්‍යයන් ගැන කතා කිරීමේ දී ආවේණික මත්ස්‍ය විශේෂ තුනක් සහ ඊට අමතරව මුළු මත්ස්‍ය සංඛ්‍යාව 15කට අධිකය. ඒ අතර අපට විශේෂයෙන්ම “දං කොළ පෙතියා” “හොර දණ්ඩියා” “මගුරා” හදුනාගත හැකි විය. ජලයෙහි විශාල යමක් මතු වී දිය යට සැඟව යන අයුරු පෙනෙන්ට වූයෙන් අප මහත් විමසිලිමත්ව බැලූ විට දැක ගත හැකි වූයේ විශාල කිඹුළු රාජයෙකි. සඳුන් මහතා අපට පැවසූයේ මේ දියවන්නාවේ කිඹුලා බවයි. තවත් කිඹුලන් දෙදෙනකු මෙම උද්‍යානයේ සිටින බව ද ඔහු පැවසීය.

ඇළ මාර්ග පසු කරමින් ඉදිරියට ගමන් කිරීමේ දී සුවඳවත් පාට පාට ලෝකයක් අප නෙත් මානයේ මැවෙන්නට විය. දැවයෙන් නිම කළ නාම පුවරුවේ සටහන් වී තිබුණේ “තෙත් බිම් සමනල උයන” ලෙසයි. සමනලයින් නිරතුරුව මෙම උයනේ ගැවසෙන අතරම ඒ අයගේ ප්‍රධාන ආහාරය වන මල් පැණි සඳහා පියකරු මල් වත්තක්ම නිර්මාණය කර තිබීමද සුවිශේෂීය. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථයින්ගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස “සමනල උයන ” ආරම්භ විය. මෙහි සමනල් විශේෂ 40කට ආසන්න ප්‍රමාණයක් දැක ගත හැකිය.

කුරුල්ලන්ගේ මෘදු ශබ්දය ද සුළගේ ශබ්දය ද මනස සුවපත් කරන්න සමත් විය. ඈතින් පෙනෙන සත්ත්වයකුගේ විස්තර සහිත නාම පුවරුවෙහි පින්තූරය අපි කොටියෙකි යැයි අනුමාන කළෙමු. පරිසර නිලධාරී මහතා පැහැදිලි කළ ආකාරයට ඒ කොටියකු නොව තෙත් බිම් ආශි‍්‍රතව සිටින සතෙකු වන හදුන් දිවියායි. මෙතැන් සිට අප ඉදිරියට ගමන් කළේ ඉතාමත් ප්‍රවේශමෙනි. හඳුන් දිවියා කොහේ හෝ සිට පැමිණෙතැයි බියෙනි. පරිසර නිලධාරී මහතා පැවසූයේ හඳුන් දිවියා රාත්‍රී කාලයේ හැසිරෙන සතෙකු වන අතරම දැනට මෙම උද්‍යානයේ හඳුන් දිවියන් පස් දෙනකු පමණ සිටින බවයි. මොවුන්ගේ හැසිරීම කැමරා කාච තුළ සටහන්ව ඇති බව ද ඔහු පැවසුවේය.

එසේ ඇවිදගෙන යන අතරතුර අපේ නෙත ගැටුණේ සමනලයෙකුගේ හැඩයක් ගන්නා දිග කූරක් සහිත සත්ත්වයෙකි. එම සත්ත්වයා නමින් බත් කූරායි. බත්කූරා මදුරු කරදරයට විසඳුමකි. උද්‍යානය තුළ මදුරුවන් නොමැති වීමට හේතු වී ඇත්තේ මෙම සතුන් මදුරු කීටයන් විනාශ කරන හෙයිනි. දැනට බත්කූරන් විශාල සංඛ්‍යාවක් සිටින බව පරිසර නිලධාරී මහතා පැවසුවේය.

එළිමහනෙහි සකසන ලද අධ්‍යයන ප්‍රදේශයේද මදක් නතර වී සිටින්නට අප අමතක කළේ නැත. කවියන්ට කවි පබැදුම් ගොතන්නටද සිත්තරුවන්ට පරිසර චමත්කාරය සිතුවම් කරන්නටත් හොඳම උද්‍යානය මෙය යැයි සිතුණේ ප්‍රධාන මාර්ගයෙන් මදක් ඈතින් පිහිටි නිහඬ පරිසරයක මෙය පිහිටි නිසාවෙනි. පුරා පැයක සංචාරයකින් අනතුරුව අපගේ දැනුම් ගබඩාවට බොහෝ කරුණු එකතුවුණ මේ උද්‍යානයට දිය හැකි හොඳම නාමය තක්සලාව යන නාමයයි. බොහෝ පාසල් ශිෂ්‍යයින් මෙහි පැමිණ දැනුම ලබා ගන්නා අතරම ඔවුන්ගේ පර්යේෂණ ඥානය පුළුල් කිරීමේ අරමුණ ඇතිව සැකසුණු පර්යේෂණාගාරය ද ඉතාමත් සුවිශේෂීය. ඊට අමතරව මංගල ඡායාරූප, වෙළඳ දැන්වීම් සඳහා ද මෙම උද්‍යානයේ පහසුකම් සලසා දී තිබේ. ඒ සඳහා ද විශේෂ මිල සැලැස්මක්ද මෙම ආයතනය මඟින් ඉදිරිපත් කර තිබෙන අතරම මෙම උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තු ලෙස අය කරනුයේද ඉතාමත් සුළු මුදලකි. උදෑසන හයේ සිට සවස හය දක්වා මෙම උද්‍යානය විවෘතව පවතී.

මෙම උද්‍යානයේ ඉදිරි අරමුණු ගැන කතා කිරීමට අප සමඟ සම්බන්ධ වුණු ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු න දී හෙට්ටිආරච්චි මහත්මිය.

“මෙම අධ්‍යයන උද්‍යානයේ මූලිකම අරමුණ වන්නේ තෙත් බිම් රැකගැනීමයි. ඒ වගේම නාගරික දරුවන් අතර පරිසර හිතකාමීත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. තෙත් බිම් විශේෂයෙන් අප ආරක්ෂා කර ගත යුතුයි. නමුත් මිනිස්සුන්ට ඒ මඟින් ගන්න දෙයක් නැත්නම් එයාලා තෙත් බිම් ආරක්ෂා කරන්නේ නැහැ. අපි ඉදිරියේ දී ළමා උද්‍යානයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වෙනස්ම තේමාවක් යටතේයි. විශේෂයෙන්ම ළමයින්ට විද්‍යාත්මක දැනුමක් ලබා දීමේ අරමුණ ඇතිවයි. ගැමි පරිසර තුළ සතුන් එළවා දැමීමට භාවිත කළ දිය හොල්මන නිර්මාණය කරන්න වගේම ජල රෝද භාවිත කරලා වතුරේ ශක්තිය මැනීම වැනි කාරණා පරිසරය සමඟ බද්ධ කරමින් විද්‍යාත්මක දැනුම ළමයින්ට ලබා දීමේ අරමුණක අපි ඉන්නවා.තව දුරටත් එම අරමුණු පැහැදිලි කළ පරිසර නිලධාරී සදුන් බණ්ඩාර මහතාගේ අදහස මෙසේය.

“මා කලින් සඳහන් කළ ආකාරයට අපේ දුපත් දහයෙන් එකක් සර්පයින් සඳහා වෙන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේ නරඹන්නන් සඳහා රාත්‍රී කාලයේ කඳවුරු පහසුකම් සැපයීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සර්පයන් පිළිබඳව මිනිස්සු තුළ බියක් වගේම පිළිකුළක් තියෙනවා. ඒ පිළිබඳව වෙනස්ව දකින්නට සැලැස්වීම අපේ අරමුණයි.

මෙම දියසරු උද්‍යානයේ ඔක්තෝම්බර් මස 03 දින ශ්‍රී ලංකා පරිසර වෘත්තීකයන්ගේ 11 වන වාර්ෂික සමුළුව වගේම විශේෂ කණ්ඩායම් සාකච්ඡාවක්ද පැවැත් වූ බව අපට දැන ගන්නට ලැබිණි. මෙම පරිසර වෘත්තීකයන්ගේ ආයතනය පුළුල් පරාසයක විහිදුණු වෘත්තීකයන්ගෙන් සමන්විතයි. ඒ අනුව දැනට සාමාජිකයන් 540 ක් පමණ සමාජිකත්වය දරන අතරම පරිසරවේදීන්ගේ සිට විශ්වවිද්‍යාල මහාචාර්යවරු දක්වා මෙය විහිද පැවතීම ද සුවිශේෂීය.

දැනට මෙහි ශිෂ්‍ය සමාජිකයන් 13ක් පමණ සිටින අතරම විවිධ ප්‍රදේශ ඉලක්ක ගත කරමින් කෙටිකාලීන දීර්ඝ කාලීන පාඨමාලා පැවැත්වීම ද මේ මගින් සිදු වේ. මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ආර්ථික සංවර්ධනය සඳහා තෙත් බිම් රැක ගැනීමයි. මෙදින පැවැත් වූ විශේෂ සාකච්ඡාවේ දී පරිසර වෘත්තිකයන්ගෙන් රටේ අභිවෘද්ධියට විය යුතු දේ පිළිබඳව වගේ ම මහජනතාව ඒ සම්බන්ධව දැනුවත් කිරීම ද සිදු විය.

පාරිසරික වශයෙන් උගන්වන සොඳුරු පාඩම් වගේම විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ දැනුම ගවේෂණයට වගේම පර්යේෂණයන් සිදු කරන්නට ඔබත් කැමති නම් “දියසරුඋයන ” නරඹන්න පැමිණීම ඔබට වෙනස්ම අත්දැකීමක් වනු නොවනුමානය. මෙම උද්‍යානය පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා “Bio diversity study park” ෆේස් බුක් පිටුවෙන් වගේම මෙහි දුරකථන අංක 011 2073550 ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකිය.

ලක්ෂානි සේනානායක 

නව අදහස දක්වන්න