ශ්‍රේෂ්ඨ යුගපුරුෂයකු පිළිබඳ හරබර කෘතියක් | දිනමිණ

ශ්‍රේෂ්ඨ යුගපුරුෂයකු පිළිබඳ හරබර කෘතියක්

කෘතිය - මම ධර්මපාල
කර්තෘ - රණවීර ඒ. චන්ද්‍රසේන

අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය අළලා ලියැවුණු චරිතාපදාන රාශියක් මේ වනවිට සිංහල පාඨකයා හමුවේ පවතී. මේ සියල්ලටම වඩා වෙනස් මඟක් ගනිමින් ධර්මපාලතුමාගේ ජීවිතය සම්බන්ධ සිද්ධි ගවේෂණාත්මකව විමසා බලා, ඒ ඒ කරුණු සම්බන්ධ යථා තත්ත්වය හෙළි කරන චරිතාපදානයක් දැන් ප්‍රකාශයට පත්වී ඇත. ඒ ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු හා ලේඛකයකු වූ රණවීර ඒ. චන්ද්‍රසේන මහතා රචනා කළ 'මම ධර්මපාල' නම් කෘතියයි.

මේ කෘතියෙහි ඇති විශේෂත්වය නම්, ධර්මපාලතුමාගේ උප්පත්තියේ සිට සිරිදේවමිත්ත ධම්මපාල නමින් පැවිදි වී, ස්වල්ප කලකට පසු අපවත්වීම දක්වා වූ සියලු ම සිද්ධි, එතුමා පවසන ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම ය. කර්තෘවරයා මේ කාර්යය සාර්ථක කරගෙන තිබෙන්නේ, අනගාරික ධර්මපාලතුමාගේ මනෝකාය කර්තෘගේ මනෝකායට ආරූඪ වී, එතුමාම තම ජීවිත කතාව පවසන ආකාරයක් පාඨකයාගේ සිතෙහි ජනිත වන ආකාරයට, සිද්ධි දාමයක් ලෙස පෙළ ගැස්වීමෙනි.

මෙහි එන සෑම පරිච්ඡේදයක්ම ධර්මපාල චරිතාපදානයට නව ආලෝකයක් පතුරුවයි. ධර්මපාලතුමා ජීවමාන කාල‍යේ සමාජ පරිසරය හා එම පරිසරය තුළ බුදුසමයට හා සිංහල ජාතියට මුහුණපෑමට සිදුවූ අභියෝග, එම අභියෝග ජය ගැනීමට, එම බලවේග දුර්මුඛ කිරීමට ධර්මපාලතුමා ගත් පියවර ප්‍රබල ඓතිහාසික සාක්කි මත සනාථ කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත.

මේ කෘතියේ දෙවැනි පරිච්ඡේදයේ (පිටු 58 – 93) අනගාරික ධර්මපාලතුමා සහභාගි වූ ජගත් දෘෂ්ටි සම්මේලනය පිළිබඳ‍ තොරතුරු ඇතුළත් වෙයි. එම සම්මේලනයේදී බුදුන් වහන්සේට ‘ලෝකයා ණය ගැතිය’ (The World’s Debt to Buddha) යන්න මාතෘකා කොට, වියත් උගතුන්, බුද්ධිමතුන් හා විවිධ ආගමික නායකයන් 6000ක් දෙනා අභිමුඛයේ අමෙරිකාවේ චිකාගෝ නුවර කොළොම්බස් ශාලාවේදී, 1893 සැප්තැම්බර් මස 18 වැනි දින අනගාරික ධර්මපාලතුමා විසින් පවත්වන ලද හරවත් දේශනයත්, එම දේශනයට සවන් දුන් වියතුන් කළ ඇගැයීම් හා එදවස අමෙරිකාවේ පළ වූ පුවත්පත් මඟින් දෙන ලද ප්‍රචාරය හා ප්‍රතිචාර එම පරිච්ඡේදය පුරා විහිද යයි.

බෞද්ධ දර්ශනය පැහැදිලි කරන ලෝකෝත්තර හා ලෞකික දහම සංක්ෂිප්තයෙන් තමන් අභිමුඛයේ සිටින ශ්‍රාවකයන්ට අවබෝධ කරවීමට ධර්මපාලතුමා කරන ලද දේශනය කොතරම් පලදායක වූයේ දැයි, එම දේශනයට සවන් දුන් අන්‍ය ලබ්ධිකයන් බුදුසමය වැළඳ ගැනීමට පෙලඹුණු බව වාර්තා වීමෙන් සනාථ වේ. මේ දේශනය ශ්‍රාවකයන්ගේ අවධානය දිනාගත් අයුරු, දේශනය අවසානයේ තවත් එවැනි දේශන පැවැත්වීමට ධර්මපාලතුමාට ආරාධනා ලැබීමෙන් පැහැදිලි වේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම්, ධර්මපාලතුමා මේ සම්මේලනයේදී කරන ලද විශිෂ්ට දේශනය, සිංහල පාඨකයන්ට කියැවීමට මේ කෘතියෙන් අවස්ථාව සලසා තිබීම ය. ජගත් දෘෂ්ටි සම්මේලනයේදී ධර්මපාලතුමා ඉතා ව්‍යක්ත දේශනයක් කර ඇති බව බොහෝ දෙනකු සඳහන් කරන නමුදු, එම දේශනයේ අන්තර්ගතය පිළිබඳ සිංහල පාඨකයන් බොහෝ දෙනකුට අවබෝධයක්, දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොවීය. මේ අවස්ථාව ලබා දීමට “මම ධර්මපාල” කෘතියේ කතුවරයා ගෙන ඇති පියවර අගය කළ යුතු ය.

ධර්මපාලතුමාගේ අවසාන අරමුණට තිත තබමින් බුද්ධගයා උරුමය සඳහා වූ සටන අවසන් වූ සැටි යන ශීර්ෂපාඨය රැගත් සිව්වැනි පරිච්ඡේදය (පිටු 109 – 124) ධර්මපාලතුමාගේ අරමුණ හා බෞද්ධ උරුමය බෙලහීන කරමින්, බුද්ධගයා නඩුව අවසන් වූ සැටි සාක්කි සහිතව සනාථ කරයි. මේ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් නොනවතින කතුවරයා, බුද්ධගයාව සම්බන්ධව අනගාරික ධර්මපාලතුමාගේ අවසන් අරමුණ ඉටුකර ගත හැකි මඟක් පෙන්වා දෙයි. මේ බෞද්ධ සිංහල ගිහි පැවිදි සැමගේ අවධානය ‍යොමු කළ යුතු මතයක් ලෙස දකිමු.

ඓතිහාසික මූලාශ්‍ර (පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය) ඇසුරින් තමන් ඇසින් දුටු සාක්කි ඇසුරින් බුද්ධගයා පුදබිමේ පුරාණය පවසන ධර්මපාලතුමා, ධර්මාශෝක අධිරාජයා ගොඩනගන ලද බෞද්ධ ඉන්දියාවේ අතීත ශ්‍රී විභූතියත්, පාහියන් හා හියුං සෑං වැනි භික්ෂූන් වහන්සේලා ඒ විභූතිමත් යුගය වාර්තා කර ඇති ආකාරයත්, මිසදිටුවන් අතින් ඒ උතුම් බුද්ධගයා පුදබිම වැනසී යාමේ ඛේදවාචකයත් පාඨකයා හමුවට ගෙන එයි. (පිටු අංක 125-136)

ජගත් සම්භාවනාවට පාත්‍ර වූ ‘ආසියා ආලෝකය’ (Light of Asia) ග්‍රන්ථයේ කතුවරයා වූ ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ් බුද්ධගයාව සම්බන්ධයෙන් රචිත නිබන්ධනයක් (ඇසින් දුටු සාක්කිය) හයවැනි පරිච්ඡේදයේ එයි. (පිටු 137-149) බුද්ධගයා පුදබිමේ ශ්‍රේෂ්ඨත්වයත්, එම පුදබිමට බෞද්ධයන්ට ඇති උරුමයත් එම බෞද්ධ උරුමය මිසදිටු ග්‍රහණයෙන් මුදා, ලෝක බෞද්ධ ජනතාවට උරුම කර දීමට ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ් ගත් වෙහෙසත්, බුද්ධගයා මහා බෝධි විහාරය නම් ශීර්ෂපාඨය රැගත් එම නිබන්ධනයෙන් පැහැදිලි වෙයි.

බුද්ධගයාවේ බෞද්ධ උරුමය වෙනුවෙන් දැඩි සටනක යෙදෙන ධර්මපාලතුමා, ඉන්දියාවේ යළි බුදු දහම ස්ථාපිත කිරීම හා අතීතයේ මෙන් බෞද්ධ ප්‍රජාවක් බිහි කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින්, කල්කටාවේ ධර්මරාජික විහාරය හා බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය ඉදි කිරීමේ පුවත, බරණැස ඉසිපතනයට බුදුදහමේ ආලෝකය යළිත් යන මාතෘකා පාඨය රැගත් හත්වැනි පරිච්ඡේදය (පිටු අංක 151-169) පාඨක නෙත හමුවට ගෙන එයි.

සිව්වැනි සියවස ආරම්භයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රබල බලපෑමක් එල්ල කළ අමද්‍යප ව්‍යාපාරය ඉදිරියට ඒම, බෞද්ධ පුනරුද ව්‍යාපාරයෙන් උපත ලද අමද්‍යප ව්‍යාපාරය යන්න මාතෘකා කොට ඇති අටවැනි පරිච්ඡේදයෙන් (පිටු 170-176) පැහැදිලි කරයි.

“මම” ධර්මපාල නමැති මේ කෘතියෙහි බෞද්ධ පුනරුද ව්‍යාපාරයට තිත තැබූ සිංහල හම්බ කෝලාහලය - 1915’ මැයෙන් වූ 9 වැනි පරිච්ඡේදය (පිටු 177-213) එම අවාසනාවන්ත සිද්ධියේ සැබෑ ස්වරූපය දැන ගැනීමට කැමැති අයගේ සැලකිල්ලට ලක් විය යුතු ය. මේ පරිච්ඡේදය ආරම්භ වන්නේ ව්‍යවහාරයේ පවතින පරිදි 1915 කෝලාහලය සිංහල මුස්ලිම් කෝලාහලය වශයෙන් අර්ථ දැක්වීම මෙරට ලාංකේය මුස්ලිම් ජන කොට්ඨාසයට කරන අසාධාරණයකි” යනුවෙන් කතුවරයා කරන ප්‍රකාශනයෙනි.

ගම්පොළ වලහාගොඩ දේවාල පෙරහරට පහරදීම, කතරගම දේවාල පෙරහරට පහරදීම, මහනුවර දළදා පෙරහරට පහරදීම හා ඒ පසුබිමේ ඇරැඹි මහනුවර කෝලාහලය හා කොළඹ කෝලාහලය පිළිබඳ සමකාලීන ලේඛන රැසක තොරතුරු ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කරන කතුවරයා, යටත්විජිත පාලකයන් පක්ෂපාතී ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳව ද පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරයි. රාජ්‍යද්‍රෝහි චෝදනා එල්ල කොට, අනගාරික ධර්මපාලතුමා ඇතුළු අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් හා ඇතැම් බෞද්ධ සිංහලයන් සිරභාරයට ගැනීම යුද නීතිය යටතේ හෙන්රි පේදිරිස් ආර්. ඒ. මිරැන්ඩෝ, එඩ්මන් හේවාවිතාරණ ඇතුළු බෞද්ධ සිංහලයන් රැසකට බොරු චෝදනා එල්ල කරමින් මරා දැමූ ආකාරයත්, වන්දි ගෙවීම සඳහා සිංහලයන්ගේ දේපළ රජයට පවරාගෙන ඉන්දීය මුස්ලිම්වරුනට (හම්බ) වන්දි ගෙවීමට යටත් විජිත පාලකයන් කටයුතු කළ ආකාරය, සමකාලීන ලේඛකයන්ගේ පොත පත හා වාර්තා ඇසුරින් ඉතා විශ්වාසනීය ආකාරයෙන්, කතුවරයා තොරතුරු රැසක් පාඨකයා හමුවට ගෙන එයි‍.

වාදිභසිංහ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ නායකත්වයෙන්, මාර්ගෝපදේශකත්වයෙන් දහනව වැනි සියවසේ මැද භාගයේදී ඇරැඹි බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ධජය උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු සියතට ගත් අනගාරික ධර්මපාලතුමා, අමද්‍යප ව්‍යාපාරයට හා කම්කරු ව්‍යාපාරයට දෙන ලද නායකත්වය, යටත්විජිත පාලනයට දැඩි තර්ජනයක් විය. මේ නිසා එතුමා සිරභාරයට ගෙන බන්ධනාගාරගත කිරීමට යටත්විජිත පාලකයෝ පියවර ගත්හ. 1915 සිංහල - හම්බ කෝලාහලය ඊට අවස්ථාව සලසා දුන්නේය.

“මම ධර්මපාල” කෘතියේ කතුවරයා මේ පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන ඓතිහාසික පසුබිමක් සහිත තොරතුරු, එම කෝලහලය බෞද්ධ සිංහල ජනතාවට එල්ල කළ භීෂණය හා විපාක සිංහල ජනතාවට ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට සැලැස්වීම, ඇත්ත තිත්ත වුවත් අවධානයට ගෙන ඒම ඇගැයීමට ලක්විය යුතු ය.

අනගාරික ධර්මපාලතුමා පසුපස රහස් පොලිසිය පැන්නුවේ ඇයි? යන ශීර්ෂ පාඨය රැගත් දහවැනි පරිච්ඡේදයෙන් (පිටු 214-234) ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් අනගාරික ධර්මපාලතුමාට විරුද්ධව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පාඨකයා හමුවට ගෙන එයි. ඒ සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ක්‍රියාත්මක වූ ආකාරය, ඔවුන් අතර හුවමාරු වූ ලිපිලේඛන උපයෝග කොට ගනිමින් කරුණු සඳහන් කරයි.

මේ පරිච්ඡේදය අවසානයේ නිරීක්ෂණ හා නිගමනය යන උපශීර්ෂය යටතේ, “ධර්මපාලතුමා පසුපස රහස් පොලිසිය පන්නා ගියේ ඇයි?” යන පැනයට පිළිතුරක් සපයන කතුවරයා, බෞද්ධ පුනරුද ව්‍යාපාරය සවිමත් කරමින්, රටේ බහුතරය වූ බෞද්ධ සිංහල ජනතාවට නායකත්වය දීමත්, අමද්‍යප ව්‍යාපාරය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන විරෝධී ජනතා බලවේගයක් ලෙස ඉදිරියට ඒමත්, බ්‍රිතාන්‍ය විරෝධී කම්කරු අරගලවලදී ඊට නායකත්වය දීමත්, ඉංග්‍රීසි අධිරාජ්‍ය පාලනයට විරුද්ධව නැගී එන ජපානය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමත්, ධර්මපාලතුමාට රාජද්‍රෝහි චෝදනා එල්ල කිරීමට හේතු වූ බව සාධක සහිතව පැහැදිලි කරයි.

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීමට අනගාරික ධර්මපාලතුමා ගන්නා ලද ප්‍රයත්නය, ධර්මපාලතුමා හා ජපානය අතර මිතුදමෙන් දේශීය කර්මාන්තයේ පුනරුදයක් යන ශීර්ෂපාඨය රැගත් එකළොස් වැනි පරිච්ඡේදයෙන් (පිටු 235-239) ඉදිරිපත් කරයි. ජපානයේ ශිල්ප හා විද්‍යා දියුණුවෙන් එළැඹීමට ලංකාවේ තරුණ පිරිසට මඟ විවෘත කරදීමත්, එමඟින් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වූ ආකාරයත්, එදවස ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ නව දේශපාලන ප්‍රවණතාව ද පැහැදිලි කරමින් කතුවරයා කරුණු රැසක් ඉදිරිපත් කරයි.

ධර්ම දූත සේවාව යන ශීර්ෂපාඨය රැගත් 12 වැනි පරිච්ඡේදයෙන් (පිටු 240 – 271) භික්ෂුන් වහන්සේට විධිමත් පුහුණුවක් ලබා දෙමින්, ඉන්දියාවේ හා අපරදිග ධර්ම ප්‍රචාර සේවාව සඳහා උන්වහන්සේලා යොමු කළ ආකාරයත් ඇතුළු වැදගත් කරුණු රැසක් පාඨකයා හමුවට ගෙන එයි. ධර්මපාලතුමාගේ ධර්ම දූත සේවා අගය මැනීමට කල්කටාවේ අගවිනිසුරු ශ්‍රීමත් මන්මථනාත් මුඛර්ජි තැන තබා ඇති සටහනම ප්‍රමාණවත් යැයි සිතමි.

“මහා වීර පෞරුෂත්වයකින් ස්වකීය ප්‍රතිබිම්බය මනුෂ්‍ය සන්තානයේ තබා පරලෝ වැඩි ධර්මපාල ස්වාමින්ද්‍රයන්ගෙන් බුද්ධ ශාසනයට වූ මෙහෙය දෙවැනි වන්නේ අශෝක නරනාථයන්ගේ ධර්ම ප්‍රචාරක සේවයට පමණකි. එහෙත් අශෝකයන් නුදුටු එංගලන්තයට අමෙරිකාවට පවා ධර්මපාලතුමා ධර්ම දූතයන් යැවීය.” (පිටු 239)

ධර්මපාලතුමා පැවිදි දිවියට එළඹීම හා උදාර දිවියක නිමාව යන ශීර්ෂපාඨ රැගත් 13 හා 12 වැනි පරිච්ඡේද (පිටු 272 – 286) ධර්මපාලතුමා ජීවිතයේ අවසාන අවධිය පිළිබඳ ඉතා වැදගත් කරුණු රැසක් පාඨකයා හමුවීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගය කළ යුතු ය.

ධර්මපාලතුමාගේ සේවාව දෙස් විදෙස් ප්‍රභූ ඇසින් නම් වූ 15 වැනි පරිච්ඡේදය (පිටු 287 – 292) අනගාරික ධර්මපාලතුමා ඉටුකළ උදාර ජාතික හා සාමාජික සේවාව නොදකින්නන්ගේ නෙත් පෑදීමටත් මනා දැක්මකි.

“මම ධර්මපාල” කෘතියේ අනගාරික ධර්මපාලතුමාගේ සමයමාමක, ජාතිමාමක පරාර්ථකාමි ජීවිතයෙහි විවිධ පැතිකඩ තම ග්‍රන්ථයෙහි පෙළ ගස්වා ඇති ආකාරය සිත්ගන්නා සුළු ය. ඔහුගේ භාෂාව ව්‍යක්ත ය. සරල ය. ධර්මපාලතුමාගේ චරිතාප්‍රදානය හා සම්බන්ධ සමකාලීන ඓතිහාසික සිද්ධි පාඨකයා හමුවට ගෙන ඒමට කතුවරයා උපයෝගී ‍කොටගෙන ඇති මනෝකාය සංසිද්ධිය, පාඨකයාගේ අවධානය කෘතිය තුළ රඳවා තබා ගැනීමට සමත් ය.

“මම ධර්මපාල” ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් අනගාරික ධර්මපාලතුමාගේ චරිතාපදානය ඉදිරිපත් කිරීම සඳහා වූ කෘතියක් වූවත්, එය සමකාලීන සාමයික හා සාමාජික සංසිද්ධි යථාර්ථවත් ලෙස ඉදිරිපත් කරන ඉතිහාස ග්‍රන්ථයක් වශයෙන් ද හැඳින්විය හැකි ය. රට පරාධීනත්වයෙන් මුදා, ස්වාධීනත්වය උරුම කර දීම පිණිසත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා දෙස් විදෙස්හිදී කළ යුතුව තිබූ කාර්යභාරය ඉටු කිරීමටත් නොබියව ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු පාඨකයාගේ මනසේ චිත්තරූප මැවීමට කතුවරයාගේ රචනා ශෛලිය සමත් වී ඇත.

“මම ධර්මපාල” නම් වූ මේ හරබර කෘතිය, ජාතික පුස්තකාල පිරිවෙන් හා පාසල් පුස්තකාලවල තිබිය යුතු වටිනා ග්‍රන්ථයකි. මෙවන් මා හැඟි ග්‍රන්ථයක් රචනා කර සිංහල පාඨකයා අතට පත් කළ රණවීර ඒ. චන්ද්‍රසේන මහතාට, ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු ය.

මේ කෘතියේ එන ඉතා දුර්ලභ ඡායාරූපත්, ඉදිරිපත් කරන කරුණු සනාථ කිරීම සඳහා උප ග්‍රන්ථයෙහි සටහන් කර ඇති ලිපි ලේඛනත්, ආකර්ෂණීය පිටකවරය හා කෘතියේ සැලැස්මත්, කෘතියේ අගය වැඩි කිරීමට ඉමහත් පිටිවහලක් වී ඇත.

විමලසේන විතානපතිරණ

අදහස් 1ක් ඇත

bawuddayan kiyawiya yuthui!

නව අදහස දක්වන්න