ක්‍රීඩා අමාත්‍යාංශයේ 17 වැනි ලේකම් ජයන්ත විජේරත්න වැඩ භාර ගනී | දිනමිණ

ක්‍රීඩා අමාත්‍යාංශයේ 17 වැනි ලේකම් ජයන්ත විජේරත්න වැඩ භාර ගනී

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා අමාත්‍යාංශයේ 17වැනි ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ඊයේ වැඩ භාර ගත්තේය. පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය සමත් ඒ මහතා වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කළ ජයන්ත විජේරත්න මහතා දැනට ජනාධිපති අතිරේක ලේකම්වරයකු (තිරසර සංවර්ධන) ලෙස ද කටයුතු කරමින් සිටී.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකුවන ඒ මහතා නෙදර්ලන්තයේ පශ්චාත් උපාධියක්ද සමත් වූවෙකි. ගාල්ල අහංගම සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඒ මහතා පාසල් කාලයේදී හා විශ්වවිද්‍යාලයේදී මලල ක්‍රීඩා අංශවලට සම්බන්ධවී ඇත.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් විජේරත්න මහතා පැවැසූවේ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමේදී වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසීමට උනන්දුවෙන් කටයුතු කරන බවය.

“ක්‍රීඩා අමාත්‍යාංශය ඉතා විශාල කාර්යයක් කළ හැකි ස්ථානයක්. රටේ නිරෝගී පරපුරක් ඇති කිරීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂයන් බිහි කිරීමට අපේ අමාත්‍යාංශයට විශාල වැඩ කොටසක් කළ හැකියි. ක්‍රීඩාව වේගත්ව සංවර්ධනය කිරීමට රජයට විශාල ඕනෑකමක් තියෙනවා. ඒ වගේම අපේ ඇමැතිතුමා උනන්දුවකින් ක්‍රීඩා දියුණුවට කැපවී සිටිනවා. මගේ කාර්ය ඒ සඳහා කාර්යක්ෂම පසුබිමක් සකසන එකයි. ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැපයීමේදී අදාළ සියලු අංශ සමග සහයෝගයෙන් කටයුතු කර රටේ කීර්තිය වෙනුවෙන් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමට කැපවී කටයුතු කරනවා” ජයන්ත විජේරත්න මහතා පැවැසීය. 

 

නව අදහස දක්වන්න