එම්බාම් කර ගෙදර ගෙනා මවගේ සිරුර මාරු වෙලා | දිනමිණ

එම්බාම් කර ගෙදර ගෙනා මවගේ සිරුර මාරු වෙලා

නුවරඑළිය සමූහ සී. මහගම

මල්ශාලාකරුවෙකු නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයෙන් රැගෙන ගිය මළ සිරුරක් එම්බාම් කටයුතු කොට නිවසට රැගෙන ආපසු එය වෙනත් කෙනෙකුගේ සිරරක් වීම නිසා ඥාතීන් අකරතැබ්බකට පත්වීමේ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙයි.

ඉකුත් 2 දින රාත්‍රියේ මෙම සිදුවීම වී තිබේ. නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි වියපත් මවක් නුවරඑළිය මහ රෝහලේ 2 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රියේ මිය ගොස් ඇත.

ඒ බව දැනගත් ඥාතීන් පැමිණ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ එම සිරුර එම්බාම් කටයුතු සිදු කිරීමට හා මිනී පෙට්ටිය සඳහාද ගණන් හිලව් පොරොන්දු වී නගරයේ මල්ශාලාකරුවෙකුට භාරදී තිබේ.

ඔහු සිරුර රැගෙන ගොස් අවශ්‍ය කටයුතු සිදු කොට සිරුර නිවසට ගෙන විත් පෙට්ටිය අරින විට එය වෙනත් කාන්තාවකගේ සිරුරක් බව දැකගන්නට ලැබී ඇත.

මෙම සිරුර මෝචරියෙන් රැගෙන යන විට තිබී ඇත්තේ එක කාන්තා මළ සිරුරක් බැවින් කෙසේ කුමකට මාරුවූවාදැයි සිතාගත නොහැකිව මල්ශාලාකරු හා ඥාතීන් සිරුර නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යළි රැගෙන ගොස් තිබේ. ඒ වන විට එම ස්ථානයේද එකම ගාලගෝට්ටියකි. 2 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රියේ මියගොස් තිබූ කොටගල ප්‍රදේශයේ වියපත් කාන්තාවකගේ සිරුර මෘත ශරීරාගාරයේ නැති බව කියමින් ඒ ඥාතීන් කළබලයට පත්ව ති‍බිණි.

එහිදී හෙළිවී ඇත්තේ මෙසේ එම්බාම් කොට නිවසට රැගෙන විත් තිබෙන්නේ කොටගල ප්‍රදේශයේ මෙම මවගේ මරණය බවත් නුවරඑළිය ප්‍රදේශයේ මවගේ සිරුර මෘත ශරීරාගාරයට රැගෙන විත් ඇත්තේ පසුව බවත්ය.

ආසන්න වෙලාවකදී එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි එකම පෙනුමැති එකම වයසේ වැනි මව්වරුන් දෙදෙනාගෙන් එකක් මෘත ශරීරාගාරයට ගෙනවිත් තිබූ අනෙක් සිරුර රැගෙන එන අතර කාලයේ කාගේ හෝ නොසැලකිල්ලක් මත මෙම මාරුවීමසිදුව ඇති බවයි.

අනතුරුව රෝහල් පොලිසියේ මැදිහත්වීමෙන් එම්බාම් කර තිබු සිරුර ඇයගේ කොටගල ඥාතීන්ට ලබාදුන් අතර හාවාඑළියේ පිරිසට ඔවුන්ගේ ඥාති සිරුර රැගෙන යළි මල්ශාලාවකට යාමට සිදු විය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...