සාර්ක් කතානායකවරුන්ගේ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

සාර්ක් කතානායකවරුන්ගේ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

 සාර්ක් සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අට වැනි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි. ‘තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට ළඟාවීම සඳහා එක්ව වැඩ කිරීමට දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වේදිකාවක්’ යන තේමාව යටතේ අද ඇරඹෙන සමුළුව ලබන 06 වනදා දක්වා කොළඹ දී පැවැත්වේ.

තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර පාර්ලිමේන්තු රාජ්‍යයෝපායන් සහ විවෘත පාර්ලිමේන්තු ඩිජිටල් යුගය තුළ ප්‍රවර්ධනය කිරීම සහ දකුණු ආසියානු කලාපයේ සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීමේදී සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

සාර්ක් සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය දකුණු ආසියාවේ ජනතාව අතර මිත්‍රත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමත්, සාර්ක් සංවිධානයට අයත් රටවල පාර්ලිමේන්තු සහ පාරේලිමේන්තු මන්ත්‍රීවරු අතර සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීමත්, කලාපයේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සහ ක්‍රියාදාමය පිළිබඳ අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වේදිකාවක් සැපයීමත් අරමුණු කරගනිමින් 1992 වසරේදී පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන එහි අට වැනි සමුළුවේදී කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල කථානායකවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකට එක් කිරීමේ පුළුල් වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහි සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ අතර සමාරම්භක දේශනය කථානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ලැබීය.

සාර්ක් සංවිධානයට අයත් අටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අට වැනි සමුළුව වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

නව අදහස දක්වන්න