ආර්ථික මර්මස්ථානයක් වීමට නම් පෙරදිග ලෝකයේ | දිනමිණ

ආර්ථික මර්මස්ථානයක් වීමට නම් පෙරදිග ලෝකයේ

 
ජය­සිරි මුණ­සිංහ

ලෝකය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අපට ඇති අමිල සම්පත රටේ පිහිටීම යැයි සිනෙලින්ක් ආයතනයේ සභාපති සහ වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්ස් ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ආසියාව, යුරෝපය අතික්‍රමණය කොට ලොව දසත වෙළෙඳ පොළ දිනාගැනීමට, ආයෝජන කැඳවා ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා වැඩපිළිවෙළ කෙසේ සකස් විය යුතු දැයි පැහැදිලි කරමින් ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා එසේකියා සිටියි.

ලෝකයේ නව වැනි (09) සහ දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වශයෙන් කොළඹ නගරයේ ඉදිකිරීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්ස්හි අධ්‍යක්ෂ ධුරය දරන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, විදුලි සංදේශ කටයුතු පිළිබඳව උපාධි පහක් ලබාගෙන ඇත්තෙකි. මේ, වසර 2025 පොහොසත් රටක් බිහිකිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ආචාර්යවරයා සිදුකරනු ලබන විග්‍රහයයි.

 

 

ජනපති - අගමැති නායක සුසංයෝගයෙන් ඉකුත්දා වසර 2025 පොහොසත් රටක්! බිහිකිරීමේ රජයේ දැක්ම ඉදිරිපත් කළා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම එය මේ අවස්ථාවේ රටට ඉදිරිපත් කළ යුතුම දැක්මක් බවයි මාගේ පෞද්ගලික අදහස. මොකද මේ රටේ හෙට දවසේ ක්‍රියාකාරිත්වය කුමන ඉලක්ක, අරමුණ ඇතිවද? ක්‍රියාවට නැංවෙන්නේ කියන දේ පිළිබඳව අපේ රටේ ජීවත්වන අයටත් පිටරටවල ඉන්න අයටත් ඉතාම වැදගත් වන නිසා. අපේ රට ගොඩනැ‍ඟෙන හැටි ඒ දැක්මේ අන්තර්ගතයි. එය ඉතා හොඳ සැලැස්මක්.

 

ඉතා වැදගත් දැක්මක් ඉදිරිපත් වුණා. එය සාර්ථක කරගන්නට අපේ රටට අවශ්‍යම දේ කුමක්ද?

අපේ රට දියුණු වෙමින් පවතින රටක්. මේ වනවිට අඩු ආදායම්ලාභී රටවල් මට්ටමින් මිදී මැදි ආදායම්ලාභී රටක් බවට පත්වී තිබෙනවා. නමුත් අපි ඊට එහා යන්නට ඕනෑ. ඒ අරමුණින් තමයි සියලු සැලසුම් රටට ඉදිරිපත් කර තිබෙන්නේ. අපි බලන්න ඕනෑ, අපේ රට වාගේ සිටින, සිටි රටවල් මේ වනවිට වේගයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව, ශක්තිය වුණේ විදේශ ආයෝජන කැඳවා ගැනීමයි. ඉතින් අපිත් රටක් ලෙස සෘජු විදේශ ආයෝජන හැකි තරම් දිනාගන්නට ඕනෑ.

 

අපි, හැමදාම සෘජු විදේශ ආයෝජන දිනා ගැනීම ගැන කථා කරනවා. 1978 දී රටේ ආර්ථික ප්‍රතිපත්තිය පවා විවෘත කළා. මේ කරුණ ජයගන්න. ඇයි? අපට තවමත් ඒ දේ සාර්ථකව ජයගන්න බැරිවී තිබෙන්නේ?

හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. අපිට දකුණු ආසියාවේ ආර්ථිකය මුල්වරට විවෘත කළ රට විදිහට තවමත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බැරිවී තිබෙන්නේ අපි ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේම අපි හඳුනාගත් ක්ෂේත්‍රවල සමහර ප්‍රශ්න තිබීමයි. එදා අපි සාම්ප්‍රදායික වැවිලි ක්ෂේත්‍රයෙන් කර්මාන්තකරණයට වෙනස් වුණා. නමුත්! මේ කර්මාන්තකරණය ඇඟලුම් හා රෙදිපිළි වාගේ දේවලට සීමාවුණා. එය එක අඩුපාඩුවක්. අපි විද්‍යුත් උපකරණ, තොරතුරු තාක්ෂණ, පරිගණක අංශ වෙත වාගේම රථවාහන, නැව්, ගුවන් යානා වැනි නව කාර්මික නිපැයුම් වෙත ගියේ නැහැ.

 

අපේ රටට විදේශ ආයෝජන එන්නට රටේ යටිතල පහසුකම් දියුණු වෙන්නත් ඕනෑ නේද?

අනිවාර්යෙන්ම ඔව්!

අපි රටේ අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, සන්නිවේදන, විදුලිබල, ජල කළමනාකරණ, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස වාගේ සෑම ආර්ථික යටිතල පහසුකම් වාගේම මානව උපයෝගිතා පහසුකම්ද වැඩිදියුණු කරන්න ඕනෑ. ඒ සඳහා රජයට පමණක් මුදල් යොදවන්න කිසිසේත්ම බැහැ. ඒ නිසා අපි වෙනත් විකල්ප වෙත ඉක්මනින් යන්න ඕනෑ.

 

අපි යටිතල පහසුකම් දියුණු කරන වැඩපිළිවෙළට ව්‍යාපෘතිවලට පෞද්ගලික අංශ ආයෝජන යොදා ගැනීම කළ යුතුයිද?

ඇත්තටම ඒ දේ තමයි කළ යුත්තේ. මොකද? රජයකට ලැබෙන බදු ආදායමින් ඔක්කොම කරන්න බැහැ. නව අදහස්, යෝජනා අනුව සිතා කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා හැකි තරම් යටිතල පහසුකම් දියුණු කරන ව්‍යාපෘතිවලට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව වැඩපිළිවෙළකට රට විවෘත කළ යුතුයි.

 

අපේ රට ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත්වීම ගැන කතා කරනවා. එය අපට කළ හැකිද?

අපිට එය අනිවාර්යෙන්ම කළ හැකියි. ඔබ සිතන්න පාකිස්තානයේ ආයෝජකයකුට ඉන්දියාවේ ආයෝජනයක් සිදුකරන්න සිතෙනවා. නමුත්! ඔහුට එම රටට ගොස් නිදහසේ ආයෝජන සිදුකරන්න යම් ගැටලු තිබෙනවා. ඉන්දියානුවකුටත් පාකිස්තානයට, බංග්ලාදේශයට යන්න ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ අවස්ථාවේ අපේ රටට පුළුවන් මේ දෙදෙනාටම පහසුකම් සපයන්න. අපි කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය ගොඩනඟා තිබුණොත් ඒ ආයෝජකයින් දෙදෙනාටම මෙහෙ පැමිණ ව්‍යාපාර කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒවාගේම ඈත යුරෝපය, අමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ නම් දැරූ සමාගම්වලට දකුණු ආසියාවට, ආසියාවට පැමිණ ආයෝජන සිදුකරන්න, මූලස්ථානය ලෙස අපේ රට යොදාගන්න පුළුවන්. අපේ රටේ ස්වභාවික පිහිටීම ඉතාම වටිනවා. අපි මේ පිහිටීම නව ආයෝජනවලට හිතකර ලෙස යොදාගන්න ඕනෑ.

 

ඔබ කියන විදිහට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතිවලට ඉඩදීම රට, රටේ සම්පත් විකිණීමක් කියා ඇතැම් දෙනා විවේචනය කරනවා?

ඇත්තටම එය වැරදි අර්ථ නිරූපණය කිරීමක්. අපිට යම් රාජ්‍ය ආයතනයක්, ව්‍යවසායක් පාඩුවට පවත්වාගෙන යෑමට වඩා වටින්නේ එහි පරිපාලනය, කළමනාකරණය පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධකොට පවත්වාගෙන යෑමයි. අපි සිතමු මහා පරිමාණ ව්‍යාපෘතියක් අපට තනිවම මුදල් යොදා ක්‍රියාත්මක කරන්න නොහැකි නම්, ඒ අංශයේ දැනුම ආයෝජන ශක්තිය තිබෙන පිටත් අයකු යොදා ගැනීම තුළින් ඉටුකරගතහොත් එහි වාසිය අත්වන්නේ මුළු රටටමයි. අපි ඒ දේ ගැනයි සිතන්න ඕනෑ. අපි ‍අපේ සෑම වැඩපිළිවෙළක්ම රටට, ජනතාවට වාසි උපරිම තැනට යොමුකිරීමයි කළ යුත්තේ.

 

නව ආයෝජන තුළින් රටට අත්වන වාසි මොනවාද?

අපේ රටට ‍ෙලාව නම් දැරූ කර්මාන්ත, නිෂ්පාදන ආයතන පැමිණියහොත් තමයි තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ඇතිවන්නේ. ඉහළ ආදායම් ලැබෙන රැකියා හිමිවන්නේ. රටපුරා එක සේ පැතිරුණු සංවර්ධනයක් සිදුවන්නේ. විරැකියාව ඇති නැති පරතරය අඩුවීම සමාජ සාධාරණත්වය ඇතිවීම මේ ආයෝජන වැඩිවීම තුළින් රටට ලැබෙන වාසි.

 

ශ්‍රී ලංකාව ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමට ඉලක්ක කොට තිබෙනවා. එය යථාර්ථයක් විය හැකිද? කළ හැකි එකක්ද?

ඔව්!

අපි එය අනිවාර්යෙන්ම කළ හැකි එකක් බවට පත්කර ගත යුතුයි. අපි සෘණාත්මකව සිතන්න හොඳ නැහැ. අපි අපේ රටේ පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. අපි කලාපයේ මූල්‍ය නගරය මෙන්ම ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වීමට යටිතල පහසුකම් දියුණු කරගත යුතුයි.

 

ඒ සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මකද?

අපට සෑහීමකට පත්විය හැකි මට්ටමකට නොවන නමුත්! යම් ආරම්භයක් ගෙන තිබෙනවා. අපේ රට දකුණු ආසියා කලාපයේ කාර්මික කේන්ද්‍රස්ථානය, වරාය කේන්ද්‍රස්ථානය, මූල්‍ය කේන්ද්‍රස්ථානය වාගේම ලෝකයේ සියලුදෙනාගේ ගමනාන්තයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වේගයෙන් දියුණු කිරීම ආරම්භ කළ යුතුයි.

 

යටිතල පහසුකම් දියුණු කරන අතර රටේ වාණිජ නීතිරීතිවල ප්‍රතිසංස්කරණ කළ යුතුයි නේද?

ඔව්! එය හැකි ඉක්මනින් කළ යුතුයි. විදේශ විනිමය හුවමාරු කිරීමේ පහසුකම්, ආයෝජන ලෙස නව ප්‍රාග්ධනය රටට ගෙනඒමට පවතින බාධා, නව ආයෝජන මුදල් ගෙන ඒමේදී අනුගමනය කළ යුතු දැඩි නීති රීති ලිහිල් කිරීම කළ යුතුයි.

ආයෝජන ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාදීම, බදු සහන පිරිනැමීම වැනි දේ ඉක්මනින් කළ යුතුයි. මේ අංශය පෙර පැවැති තත්ත්වයට වඩා මේ වනවිට ලිහිල් වී තිබෙනවා. අපේ රට ලෝකයේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒක හොඳ දෙයක්.

 

විදේශ ආයෝජන ගෙන ඒමට දැනට පවතින ක්‍රමවේදය වෙනස් කිරීමක් කළ යුතුද?

ඇත්තටම, දැනට පවතින ක්‍රමවේදයට වෙනස්කම් සිදුකරන අතර අපි රටක් ලෙස වෙනස් විදිහට සිතන්න ඕන. අලුත් සංකල්ප ක්‍රමෝපාය යොදන්න ඕන. අපේ විදේශ තානාපති සේවය, විදේශ අමාත්‍යාංශය, ඉලක්ක කළ ප්‍රතිඵල දේ ලැබෙන ආකාරය ගැන මීට වඩා ගැඹුරු පසුවිපරමක් කරන්න ඕනෑ. කොච්චර වාර්තා, ලිපිගොනු වැඩපිළිවෙළ උසස් ලෙස ඉදිරිපත් කළත් වැඩක් නැහැ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැත්නම්. ලැබෙන ප්‍රතිඵලය රටට ජනතාවට වාසිදායක ප්‍රතිලාභ හිමිවන දේ වෙන්න ඕනෑ.

 

 

නව අදහස දක්වන්න