අර­මුණ හොඳ නම් සාර්ථ­ක­ත්ව­ය ළඟයි | දිනමිණ

අර­මුණ හොඳ නම් සාර්ථ­ක­ත්ව­ය ළඟයි

ලක්ෂානි සේනානායක

මගේ අර­මුණ වුණේ පරි­සර හිත­කාමී නිෂ්පා­දන බිහි කරන ව්‍යව­සා­ය­ක­යෙකු වෙන්නයි

ලස්සන ඇඳුම් අඳින්න වගේම ලස්සන පාවහන් පළදින්නත් අපි කොයි තරම් ආශා කරනවද. වර්තමාන තරුණ පරපුර පාවහන් වගේම බෑගයත් ඇඳුමට ගළපන්න දරන උත්සාහයන් මඟ තොටේ දී නිතරම නෙත ගැටෙනවා. ඒ අතරම තවත් සමහර අය පාවහන් පැලදීමේදී දෙපා වලට සිදුවන හානි නිසා මේවා කදරකාරී දේවල් ලෙස සලකන අයත් සමාජයේ නැත්තේ නොවේ. මේ අංශයන් දෙකටම විසඳුමක් ලබා දෙන්නට අද කප්රුක සූදානම්. ඇතැම් වැඩිහිටියන් පාද ආශ්‍රිතව ඇති වන ආසාද්මිකතා හේතුවෙන් පාවහන් නොපැලඳ ගමන් බිමන් යාමට පුරුදුව සිටී. නමුත් එයට විසදුමක් තිබිය යුතුමය. අප රටේ පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත පාවහන් නිෂ්පාදකයින් ඉතාමත් දුර්ලභය. එසේ සිටියත් ඔවුන්ගේ නිෂ්පාදන සාම්ප්‍රධායිකය . එම ගැටළුවට පිළිතුරු සොයා දෙන්නට අද ඔබ හමුවට එන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ පරිසර හිතකාමී පාවහන් නිෂ්පාදක මහින්ද එදිරිසූරිය මහතායි.

 

නිෂ්පාදනයේ ආරම්භය ගැන සඳහන් කළොත්

මම මේ නිෂ්පාදන කෙෂ්ත්‍රයට ඇවිත් වසර 12 ක් විතර වෙනවා. මම මුලින්ම හැදුවේ පී.වී.සී, ලෙදර් සෙරෙප්පු. නමුත් පරිසර හිතකාමී නිෂ්පාදනයන් සිදු කරන්නට වෙලා වසර පහක් පමණ වෙනවා. මට මේ පාවහන් හදන්න මූලික පසුබිම හැදෙන්නේ ආයුර්වේද එක්ෆෝ ප්‍රදර්ශනය ඔස්සේයි. ඒ ප්‍රදර්ශනය අවුරුද්දක් පසා එකේ පවත්වනවා. එතනට මම මගේ නිෂ්පාදන ඉදිරිපත් කරන කොට ඔවුන් මට කිව්වා පරිසර හිතකාමී දේවල් භාවිත කරලා නිෂ්පාදනයන් සිදු කරන්න කියලා. ඒ අනුව මම බොහොම සුළුවෙන් මෙම නිෂ්පාදනය ආරම්භ කළා. මුලින්ම කොළපත් භාවිත කරලා පාවහන් නිෂ්පාදනය කළා. ඊට පස්සේ පැදුරු භාවිත කරලා පාවහන් හැදුවා. ඒ වගේම ආසාද්මිකතා තියෙන එක පාරිබෝගිකයෙක් මට කොළපතකුත් ගෙනත් දීලා කිව්වා එයාට ඒකෙන් සෙරෙප්පුවක් හදලා දෙන්න කියලා. ඒ අනුව ඇයත් හොඳ ප්‍රතිචාර දැක්වූවා. කොළපත් වලින් සෙරෙප්පු හදන්න ආරම්භය සැකසුණේ ඒ අනුවයි. එතකොට වස විස නැති ආහාර ගැන කතා වෙන කාලයක් තිබුණනේ. ඒ අනුව මට හිතුන කන බොන දේ වගේම පළඳින දේත් සෞඛ්‍යාරක්ෂිත වුණොත් වඩාත් යහපත් කියලා. ඒ සිතුවිල්ල තමයි අද වෙනතුරු නොනැවතී මෙම නිෂ්පාදනය සිදු කරගෙන යන්නට මට ශක්තියක් වුණේ.

 

වෙළඳ පොළ ඉල්ලුම කොයි වගේද?

පාරිබෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. විශේෂයෙන්ම ආසාද්මිකතා තියෙන අය මේ පාවහන් පාවිච්චි කරලා සුවය ලැබුණ බව අපට පවසනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේවා පැලදීමෙන් විශේෂයෙන්ම රස්නේ කාලෙට ඉතාමත් සුවයක් ලැබෙන බව. සමහර පිරිස් නිවසටම ඇවිත් පාවහන් මිලදී ගන්නත් හුරු වෙලා ඉන්නවා. ඉල්ලුම ගැන කතා කිරීමේදී තරුණ පරපුරට සාපේකෂව වැඩිහිටි පරපුරේ ඉල්ලුම වැඩියි. විශේෂයෙන්ම ආසාද්මිකතා තියෙන අය තමයි මිලදී ගන්නේ. ඒ වගේම විදේශිකයන් නම් වයස් භේදයකින් තොරව මිලදී ගැනීම් සිදු කරනවා. එයාලා දන්නවා මේකේ තියන වටිනාකම.

 

අනෙකුත් නිෂ්පදනයන්ට සාපේක්ෂව ඔබේ නිෂ්පාදනයේ මිල කොහොමද තීරණය වෙන්නේ

අනෙකුත් නිෂ්පාදනයන්ට සාපේක්ෂව මිල වැඩියි. විශේෂයෙන්ම ස්වාභාවික සම්පත් සොයා ගැනීමට යන කාලය, ගෙතීම් අතින්ම සිදු කරන්න යන කාලය අධිකයි. එවැනි හේතු නිසා භාණ්ඩයේ මිල වැඩි වෙනවා. මැෂින් වලින් මහන සෙරෙප්පු වල මිල සාමාන්‍යයයි. ඒ වගේම පාවහන් වල ස්වරූපය අනුවත් මිල තීරණය කරනවා. හරියටම මිලක් කිව්වොත් රුපියල් 750 ඉදලා 1200 වෙනකම් වගේ මිල ගණන් යටතේ අලෙවි වෙනවා.

 

ඔබ වෙළදපොළට පැමිණෙන්නේ පාවහන් නිෂ්පාදකයෙකු වශයෙන්මද?

ඇත්තෙන්ම මම ප්‍රමුඛතාවය දෙන්නේ සෙරෙප්පු වලට. නමුත් මම බෑග් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම හෑන්ඩ් ලූම් බෑග්. මේවත් ස්වාභාවික අමු ද්‍රව්‍ය භාවිත කරලා හදන්නේ. විවිධ මෝස්තර වලින් බෑග් හදනවා. බෑග් වලට නම් වයස් බේදයකින් තොරව ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව පැදුරු නිෂ්පාදයත් කරනවා.

 

දැනට අලෙවි කරන ස්ථාන ගැන සඳහන් කළොත්

දැනට ගුඩ් මාකට් එකේ වගේම දියත උයනේ අලෙවිය සිදු කරනවා. ෆේස් බුක් පේජ් එකේ දැකලා ඇණවුම් කරන පිරිස් ඉන්නවා. ඒ වගේම විදේශිකයන් සඳහා අහුංගල්ලේ කඩයකට වගේම හෝටල් වලටත් අලෙවි කරනවා.

 

මේ පාවහන් වල කල් පැවැත්ම කොහොමද?

මේ සෙරෙප්පුවක් සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සෙරෙප්පු කිලිටි වෙනවා වගේම පන් ගැලවිලා යයි ද කියන ප්‍රශ්නෙ. ඇත්තටම මේ පන් ගැලවෙන්නේ නැහැ. මේ පන් තැලිලා එකම ගානකට හිටිලා තියෙනවා. අව පැහැ වුණත් කැඩීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. රබර් සෙරෙප්පුවකුයි මේ සෙරෙප්පුවකුයි අව්වේ තියලා බැලුවොත් රබර් එක ගිනියම් වෙනවා. මේක සිසිලසයි. මෙකෙන් ලැබෙන සෞඛ්‍යාරක්ෂිත බව ඉතාමත් වටිනවා.

 

නිෂ්පාදනයේදී පැන නඟින ගැටලු මොන වගේද?

සේවක ප්‍රශ්නය තමයි දැනට තියෙන්නේ. දැනට කන්තාවන් තුන් දෙනෙක් මා යටතේ වැඩ කරනවා. ඒ අය ගෘහනියෝ. එයාලා අමතර දෙයක් විදිහට තමයි මේ වැඬේට සම්බන්ධ වෙන්නේ. දැනට අවුරුදු දහයකට කලින් තරුණ ළමයි 15 විතර මා යටතේ සේවය කළා. දැන් නිෂ්පාදන වල වියන්න තියෙන නිසා තරුණ පිරිස් එන්නේ නැහැ. බෑග් පිටට දීලා මස්සව ගන්නවා. නමුත් මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගීත්වයක් ලැබෙනවා. විශේෂයෙන්ම දුවලා තුන් දෙනා. එයාලා මැෂිමෙන් මහන දේවල් කරලා දෙනවා. අනෙක් ගැටළුව අමු ද්‍රව්‍ය සොයා ගැනීම. සෙරෙප්පු හදන්න භාවිත කරන පැදුරු අපි ඉන්දියාවෙන් ගෙන්වනවා. අපි භාවිතා කරන්නේ ඉන්දියාවේ මැෂින් වලින් හදන පැදුරක්. ඒ නිසා ගොඩක් හයියයි. පන් අභාවයට යන දෙයක් බවට පත්වෙලා. ඒවා කුලියාපිටිය වැනි දුර ප්‍රදේශවලින් අපි සපයා ගැනීම් සිදු කරනවා. කොළ පත් වගේ දේවල් අපිට ගෙනල්ලා ගබඩා කරන්න බැහැ. මොකද මේවා පින්න වැදිලා පුස් කන්න බලනවා. එවැනි ගැටළු තමයි නිෂ්පාදනයේදී මතු වෙන්නේ.

 

රිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා රජයේ දායකත්වය කොහොමද?

ඇත්තෙන්ම මට රජයෙන් ලක්ෂ පහක ණය මුදලක් ලබා දීලා තියෙනවා. ඒකෙන් තමා මම මගේ ව්‍යාපාරය සඳහා මැෂින් ගත්තේ. ඒ වගේම HNBබැංකුව අවුරුදු දෙක තුනකට සැරයක් ණය ලබා දෙනවා.

 

ඉදිරි සැලසුම් මොන වගේද?

මගේ එකම බලාපොරොත්තුව වුණේ වස විස දේවල් වෙනුවට ස්වාභාවික සම්පත් භාවිත කරලා නිෂ්පාදනයන් සිදු කරන්න. ඒ අනුව ඉදිරියේදී ඖෂධීය සෙරෙප්පුවක් අලුතින් හඳුන්වා දීමේ බලාපොරොත්තුවක ඉන්නවා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදෙස් මත තමයි මේක නිෂ්පාදනය කරන්නේ. සෙරෙප්පුවේ අඩියට කොළපතක් දාලා. ඒකේ ඇතුලට කොහොඹ කොළ, කහ, නිදිකුම්බා දාලා ආසාදන තියෙන අයට පලදින්න විශේෂයෙන්ම සකස් කරපු දෙයක් තමයි මේක. සෙරෙප්පු තියෙන කඩවල ආයුර්වේද සෙරෙප්පු තිබුණත් ඒවා එකම විදිහට හදන්නෙ. නමුත් මගේ නිෂ්පාදන වල විශේෂත්වය වෙන්නේ ඒවා විවිධත්වයකින් නිර්මාණය කිරීමයි. තවත් දෙයක් තමයි මම දැනට ගෙදර පොඩි කොටසක තමයි මේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ. මේ සඳහා ගොඩනැගිල්ලක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහි එක තට්ටුවක ඖෂධ වර්ග වලින් ගෙවත්තක් නිර්මාණය කිරීම තමයි මගේ ඉදිරි සැලසුම්.

 

ඔබ වැනි ව්‍යවසායකයන්ට දිය හැකි පණිවිඩය කුමක්ද?

ඇත්තෙන්ම මම මේ ව්‍යාපාරය ආරම්භ කළ කාලයේ ලොකු පීඩනයක හිටියේ. මොකද මගේ නිෂ්පාදන මුල් කාලයේ අලෙවි වුණේ නැහැ. නමුත් මම උත්සාහය අත ඇරියේ නැහැ. මගේ අරමුණ වුණේ පරිසර හිතකාමී දේවල් හදන සමාජ ව්‍යවසායකයෙකු වෙන්නයි. ඉතින් ඒ අනුව තමයි මම ඇත් පවුරටත් සහභාගී වුණේ. මුල් කාලයේ මේ තරම් ලොකු ප්‍රතිචාර තිබුණේ නැහැ. වෙළඳපොළ ස්ථාවරයකට එන්න මට අවුරුදු තුනක් විතර ගත වුණා. මම මුදල් පසුපස හඹා ගියා නම් අද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා තමන් කරන දේ පිටු පස තියෙන්නේ හොඳ අරමුණක් නම් අනිවර්යෙන්ම සාර්ථකත්වයට පත් වෙනවා කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය.

 

ඔබගේ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මාර්ග සඳහන් කළොත්

මගේ ෆේස් බුක් පේජ් එක ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්.(sena eco shoes and

bags) ඒ වගේම මගේ දුරකථන අංක 077 3681388 ඇමතුමක් දීලා තොරතුරු දැන ගන්නත් පුළුවන්.

නව අදහස දක්වන්න