පහළගම යටවත්තේ විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරය | දිනමිණ

පහළගම යටවත්තේ විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරය

 'ජනපති සදහම් යාත්‍රා' 2017 වප් පුර පසළොස්වක පුන් පොහොය දින ආගමික වැඩසටහන් මාලාවකින් පිදුම් ලබන ගම්පහ පහළගම යටවත්තේ පුරාණ විහාරය, කෝට්ටේ යුගයේ සයවන පැරකුම්බා රාජ්‍ය කාලය තෙක් දිව යන දිගු ඉතිහාසයකට නෑකම් කියන පුරාන සිද්ධස්ථානයකි. 'විද්‍යාරවින්ද' නමින් විදු පියසක් ව දශක අටක කාලපරිච්ඡේදයක් පසුකරන මේ සමයෙහි එහි යටගියාව කෙටියෙන් හෝ විමසීම ප්‍රස්ථාවික වේ.

පහළගම යටවත්තේ විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රි.ව. 1412 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රජ පැමිණි සවැනි ශ්‍රී සංඝබෝධි පරාක්‍රමබාහු රජ සමය දක්වා විහිදෙන බව පෙනේ. ඉතිහාසයේ දිගු කාලයක් තුළ පැවති අඳුරු කාල පරිච්ඡේදයක දුර්වර්ණ සෙවණැලි මකා දමමින් අභිෂේක ලත් සවැනි පැරකුම්බා රජුගේ ශ්‍රී විභූතිමත් රාජ්‍ය සමයේ ආරම්භ වුණු පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන හා සියනෑ කෝරළයට අයත් කෑරගල පද්මාවතී පිරිවෙන මෙකල ශාස්ත්‍ර උන්නතියේ මුදුන් මල්කඩ විය. සවැනි පැරකුම්බා රජුගේ නියමයෙන් එතුමාගේ ඇමතිවරයෙකු විසින් අලුත්කූරු කෝරළයට අයත් ගම්පහ පහළගම යටවත්තේ මෙම විහාරස්ථානය කෑරගල පද්මාවතී පිරිවෙනට සමාකාලීනව එම අවධියේ දීම ආරම්භ කළ බවට මුඛ පරම්පරාගත කථා ප්‍රවෘත්තීන් ඇත.

එකල මෙම විහාරස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටි බවටත්, දැනට වඩා පුළුල් ප්‍රදේශයක විහාර භූමිය තිබුණු බවටත් සාක්ෂි සොයා ගැනීම අපහසු නොවේ. අවට ඉඩම්වලින් සමහර අවස්ථාවක කැනීම්වලදී මතුවී ඇති උළු හා ගඩොල් ඒ බවට ඇති සාක්ෂිය. ක්‍රී.ව. 1593 දී මෙම විහාරස්ථානයට ආසන්න ඔරුතොට ප්‍රදේශයේ දී පෘතුගීසින් හා සිංහලයින් අතර යුද භටයින් තුන්දහස් පන්සියයකටත් අධික සංඛ්‍යාවක් සහභාගි වූ විශාල යුද්ධය හේතු කොට ගෙන ඒ අවට වාසස්ථාන විනාශ වී ජනයා වෙනත් ප්‍රදේශවලට ගොස් පදිංචි වන්නට ඇතැයි යන්න සිතීමට පුලුවන. ඒ නිසා මෙම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් වන්නට ඇත. ඔරුතොට සිට පහළගමට ඇත්තේ කිලෝ මීටර් භාගයකටක් අඩු දුර ප්‍රමාණයක් නිසා මෙම විහාරස්ථානය අවට ප්‍රදේශයේද ජීවත් වූ ජනයා වෙනත් ප්‍රදේශවලට ගොස් පදිංචි වීම නිසාත් ඇතිවූ යුදමය වාතාවරණය හේතුකොට ගෙන මෙම විහාරස්ථානයට ද දුර්භාග්‍යසම්පන්න කාලයක් උදා වූවාට සැක නැත.

මෙම විහාරස්ථානයේ සිටි නායක ගනින්නාන්සේ අභාවයෙන් පසු බලගතු දෙවි කෙනෙකු වූ බවට පැරැන්නන් අතර විශ්වාසයක් වූ බැවින් වර්තමානයේත් මෙම දේවාලයට අධිගෘහිත දෙවියන් ලෙස සැලකෙන්නේ ගනේබණ්ඩාර දෙවියන්ය. අවට කුඹුරුවලින් ලබා ගන්නා අස්වැන්නෙන් ප්‍රථම කොටස වෙන් කරනු ලබන්නේ ද ගනේබණ්ඩාර දෙවියන්ටය. ඉන්පසුව ඒ වෙන්කරනු ලබන වී අස්වැන්න දේවාලයේ අලුත් සහල් මංගල්‍යය සඳහා ගෙනවිත් දීම ද සිරිතකි. මෙම ගනේබණ්ඩාර දෙවියන් සතු මහා බල පරාක්‍රමය සම්බන්ධ කථා ප්‍රවෘත්තීන් රාශියක් ඇත. මෙම දේවාලයට භාර හාර වන අයවලුන්ගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වන බවට ඇත්තේ විශ්වාසයකි. විහාරස්ථානය අවට යම් කිසිවකු වරදක් කළහොත් ඒ අයට දඬුවම් පැමිණවීමටද ගනේබණ්ඩාර දෙවියන් පසුබට නොවන බවට ද විශ්වාසයක් තිබේ.

ඉහත සඳහන් දුර්භාග්‍ය සම්පන්න කාලයෙන් අනතුරුව මෙම විහාරස්ථානයට ඉතිරි වූයේ පන්සල් වත්ත නමින් හඳුන්වන සාංඝික ඉඩමෙහි කොටසක් හා ගනේබණ්ඩාර දෙවියන් අධිගෘහිත යැයි සැලකෙන දැවමය දේවාලයත්, බෝධීන් වහන්සේත් පමණි. මෙම බෝධීන් වහන්සේ වැඩමවන ලද්දේ අනුරාධපුර අටමස්ථානය වන්දනා කි‍රීම සඳහා වන්දනාකරුවන් පා ගමනින් ගිය වකවානුවේ දීය. වර්තමානයේ ද දක්නට ලැබෙන මෙම අෂ්ඨඵල බෝධීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකූරයකි. පැරණි විහාර අස්නට අනුව එහි සඳහන් වන පන්සල් නාමාවලියේ "යටවත්ත පන්සල" නමින් සඳහන් වී ඇත්තේ මෙම විහාරස්ථානයයි.

සියවස් දෙක හමාරකට වැඩි කාලයක් වනගතව තිබූ මෙම විහාර භූමිය සැදැහැවත් පිරිසක් විසින් කැළෑ කපා එළිකොට සංඝයා වහන්සේ නමක් වස් වැසවීම සඳහා කටයුතු කළහ. ඒ සඳහා සුදුසු භික්ෂු නමක් සෙවීමේ දී භික්ෂූන් වහන්සේලා විරල එවන් අවධියක අස්ගිරි වල්පොල පන්සලක භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ වෙසෙන බව දැනගැනීමට ලැබී ඒ අනුව ඔවුහු එහි වැඩ සිටි නැදගමුවේ නායක ස්වාමීන් වහන්සේ හමුවී තමන්ගේ අවශ්‍යතාවය සැලකර සිටියහ. වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන මෙම නායක ස්වාමීන්වහන්සේ උඩුගම්පොල ජයතිලක පරම්පරාවෙන් සසුන්ගත වූ පූජ්‍ය උඩුගම්පොල සෝනුත්තර නම් හිමි නමක් ඒ සඳහා ලබාදුන්හ. ඒ වර්ෂ 1816 දී ය.

මෙම ස්ථවිරයන් වහන්සේ විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ඇප කැපවීමෙන් කටයුතු කළහ. උඩුගම්පොල සෝනුත්තර ස්වාමීන් වහන්සේ 1849 දී විනයකර්මය කිරීම සඳහා සීමා සම්මතයක් ද කරවූහ. එම සීමා සම්මතය කරවන ලද්දේ ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරාධිපති මාලිගාවත්තේ ශ්‍රී මංගලාභිධාන නව කෝරළයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පරම ධම්ම චේතිය පරිවේණාධිපති පණ්ඩිත ශිරෝමිණී වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්ථවිර, බෙල්ලන්විල බෝධි සමීප විහාරාධිපති උඩුගම්පොල රතනපාල මහා ස්ථවිරයෝ සහ මුල්ලේරියා‍වේ සුනන්ද මහා ස්ථවිර ආදී වූ ශ්‍රී කල්‍යාණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සංඝ නායක මහා ස්ථවිරයන් වහන්සේලා විසිනි.

වර්ෂ 1861 දී පූජ්‍ය උඩුගම්පොළ සෝනුත්තර ස්ථවිරයන් වහන්සේ විසින් ම එම සීමා සම්මතය තුළ විශාල ධර්ම ශාලාවක් ද ඉදි කරවා තිබේ. අද ද එම ධර්ම ශාලාව ‍විද්‍යාමානව ඇත. එ මෙන්ම උන් වහන්සේ ටැම්පිට පුරාණ විහාර ගෘහයෙයි ප්‍රතිමා වහන්සේ නමක් තනවා වර්ෂ 1866 මාර්තු මස 22 වැනි දින එම පිළිම වහන්සේට නේත්‍රා තැබීම ද සිදු කර ඇත. ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ සෝනුත්තර හිමියෝ ශිෂ්‍ය පරම්පරාවක් ඇති කිරීමට හා විහාරස්ථානය වැඩිදියුණු කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළහ. උඩුගම්පොල සෝනුත්තර මහා ස්ථවිරයන් වහන්සේ වයෝවෘද්ධ කාලයෙහි ස්වකීය විහාරස්ථානය හා පැවිදි ශිෂ්‍ය පරම්පරාව තම පැවිදි සහෝදර බෙල්ලන්විල බෝධි සමීප විහාරාධිපති උඩුගම්පොළ රතනපාල මහා ස්ථවිරයන් වහන්සේට ඔප්පුවකින් පවරා ඇත.

වර්ෂ 1877 දී උඩුගම්පොළ සෝනුත්තර හිමියන් අපවත් වූහ. උඩුගම්පොල රතනසාර හිමියන් ද ඒ වන විට වයෝවෘද්ධව සිටි බැවින්, වර්ෂ 1888 දී උඩුගම්පොල සෝනුත්තර ස්ථවිරයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උඩුගම්පොල ඉන්ද්‍රසාර ස්ථවිරයන් වහන්සේට මෙම විහාරස්ථානය පවරා දෙන ලදී. මහනුවර මල්වත්තේ සංඝ සභාවෙන් මෙන්ම වර්ෂ 1856 දී කැලණි ගඟේ උපසම්පදාව ආරම්භ කළ පසු උපසම්පදාව ලැබූ තෙවන භික්ෂුන් වහන්සේ වූයේ ‍මෙම ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාන ධුරයක් ද දරා ඇත. මෙම විහාරස්ථානයේ ඇති චෛත්‍යය රාජයාණන් වහන්සේ තැනවීම ආරම්භ කරන ලද්දේ මෙම අවධියේය. උඩුගම්පොළ ඉන්ද්‍රසාර ස්ථවිරයන් වහන්සේ පහළගම යටවත්තේ විහාරස්ථානයේ වැඩ සිටියදීම මාබිම ශ්‍රී සුදර්ශනාරාමය, ඇවරිවත්තේ සුමිත්‍රාරාමය, යටියන දඬුගොඩැල්ලේ ශ්‍රී සුදර්මාරාමය, ඔරුතොට කොට්ටේගොඩ සිරිවර්ධනාරාමය යන විහාරස්ථාන පූජා වශයෙන් උන්වහසේට ලැබී ඇත.

ඉන්ද්‍රසාර හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව වූයේ පූජ්‍ය කොස්සින්නේ ඥානවිමල, පූජ්‍ය බැණ්ඩියමුල්ලේ ධම්මරතන, පූජ්‍ය පහළගම සරණපාල හා පූජ්‍ය පහලගම සීලානන්ද යන භික්ෂූන් වහන්සේලාය. මෙම ශිෂ්‍ය පරම්පරාව අතරින් කොස්සින්නේ ඥානවිමල, බැණ්ඩියමුල්ලේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේලා රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනෙහි උසස් ලෙස ධර්ම විනය හැදෑරූහ, වර්ෂ 1907 මාර්තු මස 20 වැනි දින උඩුගම්පොළ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරයට කොස්සින්නේ ඥානවිමල ස්වාමීන් වහන්සේ පත් වූහ.

උන්වහන්සේ ඉතා විශිෂ්ට ගණයේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වූහ. එපමණක්ද නොව අමද්‍යප සමිති, ග්‍රාම සංවර්ධන සමිති ආදී සමිති ගණනාවක් පිහිටුවා ප්‍රදේශය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළහ. ආරම්භ කර තිබූ චෛතය රාජයාණන් වහන්සේගේ වැඩ අවසන් කොට වර්ෂ 1910 දී කොත පැළඳවීමද 1913 දී දෙමහල් පුස්තකාලයක් ද ඉදිකරවූහ. උඩුගම්පොළ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ විසින් දෙමහල් බුදු මැදුර තැනවීම ආරම්භ කෙරුණේ ගන්බණ්ඩාර දෙවියන් උන්වහන්සේට සිහිනෙන් දර්ශනය වී එම ස්ථානයෙහි බුදු මැදුර තනවන ලෙස දැන්වීමෙන් පසුවය. ගණේබණ්ඩාර දෙවියන්ගේ රුපයක් ඉන්ද්‍රසාර හිමියන් විසින් ටැම්පිට විහාර බිත්තියෙහි සිතුවම් කරවන ලද්දේ ඉන්පසුවය. එම චිත්‍රය අදත් ටැම්පිට විහාරයෙහි දක්නට ඇත. ඉන්ද්‍රසාර හිමියන් විසින් ආරම්භ කෙරුණු දෙමහල් බුදු මැදුරේ ඉතිරි වැඩ කටයුතු ඥානවිමල හිමිපාණන් විසින් අවසන් කරන ලදී. උන්වහන්සේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මාචාර්ය ධුරයක් ද, කාරක සභික ධුරයක්ද දැරූහ. ග්‍රන්ථ කිහිපයක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් ප්‍රසිද්ධ කළ කොස්සින්නේ ඥානවිමල ස්වාමීන් වහන්සේ වර්ෂ 1927 සැප්තැම්බර් මස 07 වන දින අපවත්වී වදාළහ. උන්වහන්සේ සමග සමකාලීනව වැඩසිටි බැණ්ඩියමුල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර වර්ෂ 1920 දී පහළගම යටවත්තේ පුරාණ විහාරස්ථානයට වැඩම කළහ.

බැණ්ඩියමුල්ලේ ධම්මරතන හිමිපාණන් වහන්සේ වර්ෂ 1926 දී විද්‍යාරවින්ද පිරිවෙන ආරම්භ කිරීමට කටයුතු කළහ. ඒ සඳහා වර්ෂ 1926 ජුනි මස 06 වැනි දින පස්වරු 3.30 ට පැවැත්වූ රැස්වීමකට ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක යන මහතුන් ද සහභාගි වූහ. වර්ෂ 1926 ජුනි මස 07 වැනි දින උදෑසන 6.27 ට යෙදුනු සුබ මොහොතින් විද්‍යාරවින්ද පිරිවෙන ආරම්භ කරන්නට යෙදුනි. පැවිදි ශිෂ්‍යයින් එකළොස් දෙනෙක් හා ගිහි ශිෂ්‍යයින් පස් දෙනෙකු ප්‍රථමයෙන් පිරිවෙනට ඇතුළත් කරගත් අතර, ඉන් එක් පැවිදි ශිෂ්‍ය නමක් වූයේ ගැට්ටේපොල විමලරතන මහා නායක හිමිපාණන් වහන්සේය. විද්‍යාරවින්ද පිරිවෙනේ බැණ්ඩියමුල්ලේ ධම්මරතන හිමිපාණන්ය.

කොස්සින්නේ ඥාණවිමල හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු බැණ්ඩියමුල්ලේ ධම්මරතන හිමිපාණෝ විහාරාධිපති ධුරයට ද පත්වූහ. උන්වහන්සේ විශිෂ්ට ගණයේ ලේඛකයෙකු වූහ. උන්වහන්සේගේ ලිපියක් නොමැති පත්‍රයක් හෝ සඟරාවක් එකල නොවූ තරම්ය. එමෙන්ම ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ධුරයක් ද දැරූ උන්වහන්සේ 1928 අප්‍රේල් මස 28 වැනි දින අපවත් වූහ.

ඉන්පසුව විද්‍යාරවින්ද ‍පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය ලබා පහළගම සරණපාල ස්ථවිරයන් වහන්සේ වැඩම කළහ. වර්ෂ 1928 අප්‍රේල් මස ඇවරිවත්තේ ජිනරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේ පරිවේණාධිපති ධුරයට පත්වූහ. පහළගම සරණපාල හිමියන් බුදුමැදුරේ උඩු මහලේ වැඩ අවසන් කරවන ලදී. 1936 ජනවාරි 01 වැනිදා සිට 1949 දෙසැම්බර් මස 21 වැනිදා දක්වා විද්‍යාරවින්ද පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය ධුරය දැරුවේ හල්ගස්තොට ශ්‍රී දේවානන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. කොස්සින්නේ ඥානවිමල හා බැණ්ඩියමුල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාව වූයේ කොස්කඳවල ධීරානන්ද, හල්ගස්තොට දේවානන්ද. පහළ යාගොඩ මේධානන්ද, මැඩැමුල්ලේ පේමරතන සහ ගැට්ටේපොල විමලරතන ස්වාමීන් වහන්සේලාය. පහළගම සරණපාල හිමිපාණන් වහන්සේගෙන් පසුව හල්ගස්තොට දේවානන්ද හිමිපාණන් විහාරාධිපති ධුරයට පත්වූහ. වර්ෂ 1950 ජනවාරි මස 01 වැනි දින සිට 1985 ජුනි මස 15 වැනි දින තෙක් ගැට්ටේපොල විමලරතන ස්ථවිරයන් වහන්සේ පරිවේණාධිපති ධුරය දැරූහ.

වර්ෂ 1955 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වූ හල්ගස්තොට දේවානන්ද හිමිපාණන් වහන්සේ 1979 දී එම සංඝ සභාවේ මහා නායක ධුරයෙන් ද පිදුම් ලැබූහ. එපමණක් නොව වර්ෂ 1980 දී ආගම් විශාරද සම්මාන උපාධියෙන් ද පිදුම් ලදහ. මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ පහළගම සෝමරතන හිමිපාණන් වහන්සේ මේ අවධිය වන විට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියහ. බෝසත් ගුණෝපේත අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරය දැරූ හල්ගස්තොට ශ්‍රී දේවානන්දාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ හා වත්මන් මහා නායක ධුරය දරන ගැට්ටේපොල විමලරතනාභිධාන නාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පහළගම සෝමරතන හිමිපාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධිය ලබා තම ගුරුදේවයාණන් වහන්සේලාගේ පරමාදර්ශී ගුණ සමුදාය මැනවින් වටහාගෙන ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වූහ.

ඉතාම කෙටි කාලයක් තුළ මහත් ජනප්‍රියත්වයට පත්වූ පහළගම සෝමරතන නාහිමිපාණන් වහන්සේ ලන්ඩන් තේම්ස් විහාරය පිහිටුවා එහි විහාරාධිපතිත්වයට පත්වූහ. අඩුම වශයෙන් වසරකට දෙවතාවක්වත් තමන් වහන්සේගේ ගුරු භූමියට වැඩම කොට තම ගුරු දේවයාණන් වහන්සේගේ දුක සැප බැලීමටත්, විහාරස්ථානයේ දියුණුව සඳහා කටයුතු කිරීමටත් අමතක නොකළහ. විහාරස්ථානයේ ඇති විශාල ධර්ම ශාලාව ද. දෙමහල් පුස්තකාලය ද, මකර තොරණ ද, සෝමරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද අතර, විහාරස්ථානයේ දියුණුව සඳහා අවශ්‍ය සියලු කටයුතු කරන්නාහ. 1996 වසරේ දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයට ද පත්වූහ. පහළගම සෝමරතන නායක හිමිපාණන් වහන්සේ උඳුවප් මස සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කරනු සඳහා පවත්වනු ලබන ශ්‍රී සංඝමිත්තා පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ලබමින් සිදු කරනු ලබන මහා සංස්කෘතික වටිනාකමකින් යුතු මංගල්‍යයක් ලෙස හැඳීන්විය හැකිය.

විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරස්ථානයේ ගමන් මග විමසන විට තවත් සඳහන් කළ යුතු සුවිශේෂී අවස්ථාවක් ද වේ. ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරය දෙවරක් හිමිවූ එකම විහාරස්ථානය ද විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරස්ථානයයි. පළමුව හල්ගස්තොට ශ්‍රී දේවානන්ද මහා නායක හිමිපාණන් ද, දෙවන වරට ගැට්ටේපොල විමලරතන මහා නායක හිමිපාණන් ද "මහා නායක" පදවියේ අක්ත පත්‍ර ලැබීමෙන් ඒ අති දුර්ලභ අවස්ථාව ද විද්‍යාරවින්ද පුරාණ රජ මහා විහාරස්ථානයට උදාවිය. සීලෝපේත, ගුණෝපේත, සුපේක්ෂල ශික්ෂකාමී ධර්මධර මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමකගේ ගුණ සුවඳ විහිදුවන මේ විද්‍යා අරවින්දය සතර දිග්භාගයෙන් වැඩම කරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ තක්ෂිලාව ද වන්නේය. බුදුන් වහන්සේ වදාළ පරිදි සීනිද්ද බෝලිද්ද දැසමන් මල් සුවඳ උඩු සුළඟ හා නොගියත් මෙම අතිපූජනීය මහා සංඝරත්නය වසන්නා වූ විද්‍යා අරවින්දය පිස ගෙන එන සිල් සුවඳ සදෙව් ලොවටත් හමාගෙන යනු නිසැකය. සීලෝපේත, ගුණෝපේත භික්ෂූන් වහන්සේලාට වන්දනා මාන කිරීමට යම් කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් එය ද මහඟු පිනකි. තවත් චිරාත් කාලයකට විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරස්ථානයත්, එහි වැඩ වසන වන්දනීය වූ අති පූජනීය මහා නායක හිමිපාණන්ටත් දිගාසිරි වේවා...!

පද්මිණී අබේසේකර
බී.ඒ.එල්.එල්.බී පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ජනසන්නිවේදන) ලිපියක් ඇසුරිනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...