දේව භක්තිය තුළ මිනිස් ශක්තිය | දිනමිණ

දේව භක්තිය තුළ මිනිස් ශක්තිය

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

වනය ජීවයේ හදවතයි. යාල වනයේ අක්කර සිය ගණන් විශාල විල්ලු හෙවත් වැව්පිටි මේ ගමනේ දී හමු‍වේ. තැන තැන පමණක් ඉදහිට ගහක් කොළක් තිබෙන මේ විල්ලුවලට ඉහළින් විශාල නෑබිලියක හැඩයෙන් අහස දිස්වෙයි. ඉඳහිට ඇති මේ ගස්කොළන් අතරින් ඇහැළ ගසක් කහපාට මලින් බරවී තිබෙයි. රාත්‍රියේ දී මේ විල්ලු වනයේ අයිතිකරුවන්ගේ කෙළිමඩලවල් බව පෙනෙන්නේ උදයේ දකින්නට ඇති උන්ගේ වසුරුවලිනි. අලි ඇතුන්ගේ මෙන්ම හාවුන්ගේ සහ ඉත්තෑවුන්ගේ වසුරු ද බොහෝ තැන්වල විසිරී තිබේ. වනය ගැන පරිණත දැනුමක් ඇති වන්දනාකරුවන්ට කොටින්ගේ හා වලස් වසුරු ද වෙන්කර හඳුනාගත හැකිය.

මහ වනයේ දුෂ්කර ගමනක යෙදීමෙන් යම් යම් රෝග ව්‍යාකූලතාවයන් ඇති වන වන්දනාකරුවන් වෙනුවෙන් තරුණ වෛද්‍යවරයකු විසින් නාවල්අඩි හි වෛද්‍ය කඳවුරක් පවත්වයි. සිය ශ්‍රමය සහ මුදල් කාලය වැය කරමින් මෙම පුණ්‍ය ක්‍රියාව කරන්නේ නැ‍ඟෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අලගයියා ලතාහරන් මහතාය. මඩකලපු ප්‍රදේශයේ හින්දු භක්තික පවුලකින් පැවත එන ඔහු ළමා කාලයේ දී කිහිප වතාවක්ම මෙම වන්දනා ගමනට භක්තික පවුලකින් පැවත එන ඔහු ළමා කාලයේ දී කිහිප වතාවක්ම මෙම වන්දනා ගමනට සහභාගී වී තිබේ. ගමනේ ව්‍යාකූලතා හොඳින් හඳුනන දොස්තර මහතා පොතුවිල්, අම්පාර, පානම රෝහල්වල කනිෂ්ඨ වෛද්‍යවරුන් ද සහභාගී කර ගෙන මෙම මහඟු සේවය සලසන්නේ කතරගම දෙවියන් කෙරෙහි වූ අනූපමය භක්තියෙනි.

දැනට අවුරුදු හතරක් තිස්සේ නොකඩවා පවත්වාගෙන ගිය මෙම වෛද්‍ය කඳවුරේ දී රෝගී වූවන්ගේ ප්‍රතිකාරවලට අමතරව සියලුම වන්දනාකරුවන්ට ඉතා රසවත් තේ කෝප්පයක් පිරිනැමේ. තේ කොළ සමඟ ඉඟුරු, කුරුඳු සහ කරදමුංගු එක්කර සාදන මේ සුවඳ ඇති තේ කෝප්පය මහ වනයේ වෙහෙස වී ගමන් කරන්නන්ට ශක්තිජනක පානයක් වේ. සිය ජීවිත අහිමි වන්නට තරම් රෝගී වූ වන්දනාකරුවන් ගණනාවක්ම දොස්තර ලතාහරන් මහතා මැදිහත්වී මෙම වෛද්‍ය කඳවුරේදී බේරාගෙන තිබේ.

නාවල්අඩි පසුකර සැතපුම් ගණනාවක් විත් වියාල ප්‍රදේශයට ළං වන විට තවත් අලංකාර විල්ලුවක් හමුවේ. වන්දනාකරුවන්ගේ වම් අත පැත්තෙන් විල්ලුවේ ඈත ඉම ලෙස මහ මුහුද පෙනෙයි. මේ අලංකාර විල්ලුවේ ගලන දිය පහරෙන් වල්ලි කුමරිය දිය නා ගත් බව කියැවේ. එම දිය පහර ද වන්දනාකරුවන් තරණය කරයි. එම ප්‍රදේශය “වල්ලිආරු” නම් වේ.

පාද යාත්‍රා වන්දනාකරුවෝ සොබාදහමේ දායාදයන් උපරිමව භුක්ති විඳින්නෝය. රාත්‍රියේ තරු බබළන අහස යට නිදා ගන්නා ඔවුහු දහවල් මධ්‍යහ්නයේ වනාන්තරයේ විශාල වෘක්ෂ රාජයන් සෙවණේ විවේකීව පසුවෙනි. වනයේ ගස්මුල් අතරින් පෙරී එන ගංගා ඔයවල්වල සීතල වතුරේ කිමිදෙති. කැලයේ කොතෙකුත් නොනවතී ඇසෙන රැහැයි හ‍ඬේ සංගීතයෙන් ගීතවත් වන්නට ඔවුහු දනිති. නාවල්අඩි හි සිට ඊළඟ අදියර ගමන් කරද්දී උඩපොතාන ප්‍රදේශයට වන්නට කළු පැහැති මඩ සහිත විශාල කලපුවක් හමුවේ. එයට බැස මහත් විනෝදයෙන් එගොඩ වන වන්දනාකරුවන් මඩ යනු දාහය නිවන සොබාදමේ ඔසුවක් බව හඳුනන්න තරම් වාසනාවන්තයෝ ය.

නාවල්අඩිවලින් කිලෝමීටර් 16ක් ගිය පසු ඊළඟ නැවතුම වන්නේ මැණික් ගඟ පතුලේ වැලිතලාවයි. එම නැවතුම වියාල නම් වේ. මැණික් ගඟ සෞම්‍යය ලෙස පැත්තකින් ගලා ගෙන යද්දී වන්දනාකරුවෝ එහි සුදු වැලිතලාවේ ළැඟුම් ගනිති. මෙම ප්‍රදේශය අලි, කොටි, වලසුන් බහුලව ගැවසෙන ඝන වනාන්තරයද පාද යාත්‍රාව ළැඟුම් ගන්නා සෑම තැනකම වැඩිහිටි වන්දනාකරුවෝ වෘක්ෂයක් මුල සුදුසු ස්ථානයක් ළඟ කුඩා දේවාලයක් සකස් කරයි. සියල්ලෝම ඊට යාතිකා කරති. ඒ වටා හිඳ දෙවියන්ට ස්තෝත්‍ර ගයති. “වේල නෙකී හරෝ හරා” “කුමර නෙකී ‍හරෝ හරා” “කන්ද නෙකී හරෝ ‍හරා” මේ ආදී කවි ගායනා ඇසෙයි.

මැණික් ගඟ පූජනීය නදියකි. එහි දිය නාද්දී කහ ආලේප කර නා ගැනීම පුරාණ හින්දු චාරිත්‍රයයි. ගං ඉවුරේ තැන තැන කුඩා වළවල් හාරා ඒවාට පිරෙන පිරිසිදු ජලය එකතු කර ගන්නේ පිඟානක් වැනි පැතැලි භාජනයකිනි. එය බීමට ගත හැකිය. පිරිමි වන්දනාකරුවෝ කැලයට ගොස් කරපිංචා ඉති කඩාගෙන එති. කරපිංචා කොළ හීනියට ලියා ලුණු මිරිස් එකතු කර සාදා ගන්නා සම්බෝලය ඇඹුලට දමන්නේ කැලයෙන් කඩාගත් අමු දිවුල් ගෙඩියක හෝ සියඹලා කරලක මද යි. මේ බැතිමතුන් කැලයට ගෞරව සම්ප්‍රයුක්ත ආදරයක් දක්වති. ඒ දෙවියන්ගේ කැලය නිසාය. බාගුණ නැවතුමේ දී එහි තිබූ ළිඳ වටා වන්දනාකරුවන් ඇහැල සහ කොහොඹ පැළ කිහිපයක් සිටුවන ලදී. ඒ ලබන අවුරුද්දේ ගමන යන්නට හෙවන දීමටය.

නාවල්අඩි හී මුලින් කී වෛද්‍ය කඳවුරට බිම එළි කරද්දී වැවී ඇති වැල් කැපුවේ ඒවායේ මුල් නොකැපෙන ලෙසය. කැලයට යම් පාඩුවක් ඔවුන් අතින් වනවානම් ඒ එකම අවස්ථාවක දී පමණි. තමන් ලැගුම් ගන්නා තැන්වල විශාල ගස් ආසන්නයේ ලිප් බැඳ ගිනි මොලවා ඉවුම් පිහුම් කිරීමයි. මේ බව මුලින්ම මතක් කර දෙනවා නම් ඔවුන් කැමැත්තෙන්ම ඉන් වළකිනු ඇත.

දිගු හා වෙහෙසකර ගමන නිසා වන්දනාකරුවෝ මැණික් ගඟ නැවතුමේ දිනයක් පමණ විවේක ගනිති. ඊළඟ අදියර පටන් ගන්නේ පසුදින පාන්දරය. මැණික් ගඟ ඉවුර දිගේ සැතපුම් අටක් පමණ දුර කොටි වලසුන් බහුල ඝන වනාන්තරය මැදින් විශාල වන්දනාකරුවන් පිරිසක් හරෝ හරා නද දෙමින් ගමන් කරති. විදුලි පන්දම් එළි බිමට මෙන්ම ගස් උඩ ද එල්ල වෙයි. භයානක වන මුර්ගයන් බිම මෙන්ම ගස් උඩත් සිටිය හැකි බැවිනි. කුරුලු ගීත හඬින් වනය අවදි වන්නේ ඔවුන් සෑහෙන දුරක් ගමන් කළ පසුය. මේ බියකරු ඝන වනාන්තර ප්‍රදේශයේදී මිනිස් වාසයකදී ලැබෙන කිසිම හව්හරණක් ඔවුන්ට ලැබෙන්නේ නැත. ඔවුන් ගමන් කරන්නේ තම ජීවිත එහෙම පිටින්ම අන්තරාදායක තත්ත්වයක තිබියදීය.

මේ ගමනේදී කතරගම දෙවියන් මිනිස් වෙසින් ඔවුන් සමඟ ගමන් කරන බව ද දේවානුභාවයේ බලගතු රැකවරණය තමන්ට ඒකාන්තයෙන්ම ලැබෙන බව ද ඔවුහු විශ්වාස කරති. වරහන නම් ප්‍රදේශයේදී මැණික් ග‍ඟෙන් එගොඩ වේ. ඉන් පසුව තව‍ දුරටත් ගමන් කරමින් කටගමුව පසු කරයි. ඉන්පසුව කොච්චිපොතාන හමුවෙයි. කොච්චිපොතානේ ගණදෙවි දේවාලයක් තිබෙයි. අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම මෙහි ඔසු පැන් දන්සලක් පැවැත්වේ. වරහන, කටගමුව, කොච්චිපොතාන ද බැතිමතුන්ගේ නැවතුම්පොළවල්ය. දමිළ වන්දනාකරුවන් හා කතාබහ කිරීමෙන් මෙම ගමන ගැන බොහෝ දෑ දැනගත හැකියි.

“ඇයි ඉතින් මේ දුෂ්කර සහ භයානක ගමනෙන් දෙවියන් පුදන්නේ?”

“මේ ගමන අපේ අය කතරගම දෙවියන්ට වූ භාරයක්. මෙය දුෂ්කර වගේම සුන්දරයි. මෙය සමාධියක නැතිනම් භාවනාවක පිහිටා යන ගමනක්. අපේ පාරම්පරික මුතුන්මිත්තන් මේ ගමන ගියා. ඒ අය ඉගැන්වුව චාරිත්‍ර අනුගමනය කරමින් තමයි අපි මේ ගමන යන්නේ. අපෙන් පස්සේ පරම්පරාවත් එසේම කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ගමනේදී ලොකු පුංචිකම් බලපුළුවන්කාරකම් මුකුත් නැහැ. ජාතිය කුලය ආගම වැදගත් නැහැ. රන් රිදීවලට මිලක් නැහැ. දෙවියන් කැමති පාට කහ පාට. මස් මාංශ කිළිකුණුවලින් වෙන් වෙලා තුන්මසක් පේ වීලා කහ පාට ඇඳුම ඇඳගෙන ගමන පටන් ගන්නා වන්දනාකාරයා දෙවියන්ගේ ආවතේව කාරයෙක්. කහ පාට ඇඳුමෙන් කියන්නේ ලෞකික සියල්ල අත්හැරියා කියන එකයි. කතරගම දේවාලයට ගොස් ආපසු ගම් රටවල්වලට යන තාක්ම පාද යාත්‍රා වන්දනාකාරයා ලෝකෝත්තර තත්ත්වයේ ඉන්නා පුද්ගලයෙක්. ඔහුගේ හදවතේ තියෙන්නේ මෛත්‍රීය කරුණාව. ඔහු මුවින් පිටවන්නේ දේව භක්ති ගීත’

තවත් වන්දනාකරුවකු වන යෝගේෂ්වරන් අරුණන් මෙවැන්නක් කියයි.

‘අපි මඩකලපුවේ. මගේ වයස දැන් විසි හයයි. මම ඉපදෙන්න ඉන්නකොට මගේ තාත්තා අතුරුදහන් වෙලා. කවුරු කොහේ ගෙනිච්ච ද ජීවත්වෙනවාද නැද්ද මොකුත් අම්මා දන්නේ නෑ. අවුරුදු හතරක් එහෙම ගත වෙලා. ජීවතුන් අතර ඉන්නවා නම් තාත්තව ගෙනත් දෙන්න කියා අම්මා කතරගමට භාර වෙලා තියෙනවා. හරියටම කතරගම මහ පෙරහැර දවසක තාත්තා ගෙදර ආවා. ඉන් පස්සේ අපි හැමදාම මේ ගමන යනවා. මම කවදාවත් ඉස්කෝලේ දෙවැනි වාර විභාගයට ඉදලා නෑ. ඒ කාලයට තමයි මේ ගමන වැටෙන්නේ. මම දැන් ‍මඩකලපුව පොලිසීයේ අපරාධ අංශයේ ඕ.අයි. සී.විදිහට වැඩ කරනවා.’ කෑම බීම හිඟ වූ නන්නාඳුනන සිංහල වන්දනාකරුවන් දෙදෙනෙකු තම නඩයට එක් කරගත් අරුණන් මහතා තමන් ගෙනා කෑම බීමවලින් ඔවුන්ට සංග්‍රහ කරමින් පාද යාත්‍රාව සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට උදවු කළේ ඉතා සතුටින්.

වන්දනාකරුවන් අතර සිටි තව කෙනෙක් මෙසේ කියයි.

‘මම කඩවත ප්‍රදේශයේ සිංහල, කැලය මැදින් යන මේ ගමනේ පුදුම සතුටක් තිබෙනවා. හොඳින් වේළුණු කුළු හරක් ගොම පිඩක් මම දැක්කා. රෑ නිදා ගනිද්දී එය රෙදි කෑල්ලකින් ඔතා හිසට තියා ගත්තා. මට කැලයේ දී එය සුවපහසු කොට්ටයක් වුණා.’

භක්තිය කයේ දරුනු රෝගී තත්ත්වයන්ද ඉක්මවා යන බවට ද උදාහරණ තිබේ.

‘අපි පොතුවිල්වල, දෙමළ . මේ ගමන යන්නේ මමත් , අම්මාත් , නංගීත්, අම්මාගේ වයස දැන් හැට පහක්. අම්මට ලේ කැටි පහක් තිබෙන බවත් බයිපාස් සැත්කමක් වුවමනා බවත් දොස්තර මහත්වරු කිව්වා. අම්මා සැත්කම්වලට කැමති නැහැ. හැම අවුරුද්දෙම යන මේ ගමන මෙවරත් යන්න ඕනෑ කියන නිසා අපි මේ අම්මව එක්කගෙන යනවා. ඒත් කිසිම අමුතු වෙහෙසක් හෝ ලෙඩ ගතියක් නැහැ. ලෙඩ දුක් හොයාගන්නෙත් බෙහෙත් කරන්නෙත් දොස්තර මහත්තුරු තමයි. ඒත් ජීවිතය ආයුෂය තීරණය කරන්නේ දෙවියන්. අපි අදහන්නේ එහෙමයි.’

පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කර ගත නොහැකි ‘කතරගම දෙවියන්’ යන මෙම බලවේගය එසේ ග්‍රහණය කර ගත හැකි බොහෝ දේට වඩා බලගතු ලෙසින් වන්දනාකරුවන්ගේ විඥානයට ගෝචර වේ. සතුට සැහැල්ලුව ත්‍රාසය සහ ගුප්ත බව මුසු ත්‍රාසය වූ පාද යාත්‍රා ගමනේ අත්දැකීම වෙන කිසිවකට සමකළ හැකි නොවේ. එය මානව සංහතියේ මුල් යුගයක් කරා ආපසු ඒමක් ද වේ. ඒ යුගය වනාහි මිනිසා ස්වභාවිකත්වයෙන් පරිපූර්ණ වූ සත්වයකු ලෙස අන්තිමට ජීවත් වූවා යැයි සිතිය හැකි එ‍ඬේර යුගය විය හැකියි. කොච්චිපොතානට පසුව ටිකෙන් ටික ජනාවාසවලට ළං වෙමින් ඉදිරියට එද්දී ඈතින් පළමුවරට වැඩහිටි කන්ද දර්ශනය වන ස්ථානයක් වේ. ඒ පූජනීය ස්ථානයේ වැඳ වැටෙන වන්දනාකරුවෝ කපුරු පහන් සුවඳ දුම් දල්වා වතාවත් කරමින් හරෝ හරා නාදය සිය දහස් ගුණයකින් වේගත් වෙමින් මහා ප්‍රීති ඝෝෂාවක ස්වරයෙන් අහස්තලය හිඟුම් දෙවති.

වැඩහිටි කන්ද කතරගම දෙවියන්ගේ දිව්‍යමය වාසස්ථානයකි.

ඊවා මල්ලවාරච්චි

අදහස් 1ක් ඇත

dewa skthiya manusika sakthiyata yata wanneya!

නව අදහස දක්වන්න