එක-දෙකටත් ඉංග්‍රීසි! | දිනමිණ

එක-දෙකටත් ඉංග්‍රීසි!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අවස්ථාවේ තවත් සුබදායක ආරංචියක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් වාර්තා වී ඇත. එම ආරංචියට අනුව 2018 වසරේ සිට රජයේ පාසල්වල එක හා දෙක වසර සඳහා ද ඉංග්‍රීසි පෙළ පොතක් නිකුත් කරනු ලැබේ. මෙය රටේ අනාගතයට සුබදායක බව පළමුව කිව යුතු ය. පෞද්ගලික ලෙස දරුවන්ගේ අධ්‍යාපනයට ද එය වැදගත් බව දෙවනුව කිව යුතු ය. ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා විශේෂ පරිශ්‍රම දරනු ලැබුව ද තරුණ පරපුරෙන් වැඩි දෙනකුට ඉංග්‍රීසි බැරි බව හැමවිටම පෙනී යයි. භාෂාවක් ඉගැන්වීම සඳහා ගත යුතු විද්‍යානුකූල ක්‍රමවේද අප අනුගමනය කර නැතැ’යි සිතන්නට පුළුවන.

භාෂාවක් ඉගෙනීමේ දී නිවස, පරිසරය, පන්ති කාමරය, සමාජ ගනුදෙනු හා සංස්කෘතිය ඉතා වැදගත් සාධක බව කියැවේ. මේවා සමඟ කෙනකු කුඩා කල සිට ගනුදෙනු කරන්නේ නම්; භාෂාවේ ජීව ගුණය පුද්ගලයා තුළට කාන්දු වන බව මානව විද්‍යාඥයන්ගේ අදහස ය. සරල අදහසකින් මේ මතය විග්‍රහ කරන්නේ නම්; දරුවකුට පෙර පාසල් අවධියේ සිට ඉංග්‍රීසි ඉගැන්විය යුතු ය. එහෙත් අපේ පිළිගත් පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ වන්නේ තුන වසරේ සිට ය. ඒ වන විට භාෂාවක් ග්‍රහණය කරගැනීමේ මූලික වයසෙන් භාගයක් ඉක්ම ගොස් ඇතැ’යි සිතන්නට පුළුවන.

මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සමයේ අපේ රටේ ඉංගීසි අධ්‍යාපනයට විශේෂ පහසුකම් සපයා තිබිණි. නිදහස ලබා ගැනීමෙන් පසු සැලකිය යුතු කාලයක් යන තුරු ද, රටේ ප්‍රධාන අධ්‍යාපන මාධ්‍යය බවට පත් ව තිබුණේ ඉංග්‍රීසි භාෂාව ය. එය වෙනස් වූයේ දේශපාලන හේතු - සාධක මත ය. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, ස්වදේශික චින්තනයට මුල්තැන දීම හා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීම යන කරුණු මත ජාතික අධ්‍යාපනය මෙහෙයැවීම නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය කෙමෙන් දුර්වල විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මව්බස පමණක් පරිහරණය කරන හුදෙකලා වූ සමාජයක් බිහිවීම ය.

1960 පමණ සිට දිගට ම ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් අපට තිබිණි. නාගරික උසස් පාසල් කිහිපයක ඉංග්‍රීසි අධ්‍යාපනය පැවැතිය ද මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාල ඔස්සේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුට ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබුණේ නැත. මේ අනුව ඉංග්‍රීසි නොදන්නා ආචාර්ය - මහාචාර්යවරු විශ්වවිද්‍යාලවලින් බිහිවූහ. ඔවුන් පශ්චාත් උපාධි හදාරා ඇත්තේ ද ශ්‍රී ලංකාවේ දී සිංහලෙන් ය. වෛද්‍ය හා ඉංජිනේරු පීඨවලට තේරී පත්වන ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි ඉගෙනීම සඳහා “ප්‍රයිවට් ටියුෂන්” යෑමට සිදු විය. ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය කරන්නට ද සිදුවිය.

බැංකු, කළමනාකරණ, විදේශීය සම්බන්ධතා හා රාජ්‍ය පරිපාලන යන ක්ෂේත්‍රවල නිලධාරීන් සඳහා විශේෂ ඉංග්‍රීසි පාඨමාලා පැවැත්වීමට එම ආයතනවලට සිදු විය. ආචාර්ය - මහාචාර්යවරුන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ හා තවත් ජගත් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යත්ව අහිමි විය. හේතුව ඉංග්‍රීසි නො දැනීම ය. පසු කලෙක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව විශ්වවිද්‍යාල සිසුන් සඳහා කඩිනම් ඉංග්‍රීසි පාඨමාලා පැවැත්වීය. එහෙත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැත. මේ වැඩසටහනට ආධාර සැපයූයේ ‍අමෙරිකාව ය. පසුව ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කරන වැඩසටහනක් ඉන්දියාවේ ආධාර ඇතිව ක්‍රියාත්මක විය. එහෙත් තරුණ පරපුරේ ඉංග්‍රීසි දැනුම ඉහළ ගිය බවක් දකින්නට නැත.

දරුවකුට මුල් අවධියේ සිට ම ඉංග්‍රීසි භාෂාව හුරු කරන්නේ නම්; පසුව කඩිනම් පාඨමාලා පවත්වමින් කාලය කා දමන්නට සිදුවන්නේ නැත. දරුවාගේ අධ්‍යාපනයේ එක කොටසක් හැටියට ඉංග්‍රීසි භාෂාව පවත්වාගෙන යෑම වඩාත් ප්‍රායෝගිකය. භාෂාවක් ඉගෙනීමේ දී ක්‍රියාකාරකම් ඉතා වැදගත් ය. 1950 ට පෙර අපේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා භාවිත කළ එක් උපායමාර්ගයක් වූයේ පන්ති කාමරයේ දී සිංහලෙන් කතා කළහොත් දඩයක් නියම කිරීම ය. මේ අනුව අවශ්‍යතා සඳහා ඉල්ලීම් කිරීමට ඉංග්‍රීසි වචන පෙළ ගැස්වීමේ අභ්‍යාසය දරුවා අත්හදා බැලුවේය. එයින් ඔහුගේ ප්‍රකාශන ශක්තිය දියුණු විය.

පසු කාලය වන විට මේ තත්ත්වය කොයිතාක් දුරට පිරිහුණේ ද යත්; ඇතැම් පාසල්වල ඉංග්‍රීසි ගුරුවරුන් ඇතත්; සිසුන් ඉංග්‍රීසි ඉගෙනගත්තේ නැත. සිසුහු එය විභාගයට අයත් නැති විෂයයක් ලෙස සැලකූහ. උසස් පෙළ විභාගය සඳහා පොදු පරීක්ෂණය නමින් ඉංග්‍රීසි විභාගයක් ඇතත් එය කිසිවකුගේ සැලකිල්ලට ලක්වන්නේ නැත. දරුවන් පසුවන්නේ ඉංග්‍රීසිය එපා වූ තැනක යැයි කියන්නට පුළුවන. හේතුව; කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හුරුවක් නැතිකම ය. භාෂාව හා චින්තනය අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බව පෙන්වා දෙන මානව විද්‍යාඥයෝ ඒ විෂයයන් දෙකම කුඩා කාලයේ සිට ප්‍රගුණ කිරීම වැඩදායක බව පෙන්වා දෙති. මේ අනුව බලනවිට පෙනීයන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉතා බුද්ධිමත් තීරණයක් ගෙන ඇති බව ය.

අන්තර්ජාතික භාෂා ලෙස ප්‍රධාන භාෂා කිහිපයක් භාවිත වෙයි. එයින් පළමු ගණයට වැටෙන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් හා ස්පාඤ්ඤ වැනි භාෂාවන් ය. දෙවන ගණයට වැටෙන්නේ චීන, ජපන් වැනි භාෂාවන් ය. ලෝකයේ සජීවී භාෂා පන්දහසක් පමණ භාවිත වන්නේ වුව අන්තර්ජාතික කටයුතු හා ව්‍යාපාරික කටයුතු සඳහා ඉහත සඳහන් භාෂාවන්ගෙන් එකක් භාවිත කළ යුතු වේ. මේ අතින් බලනවිට අපට පහසුම භාෂාව වන්නේ ඉංග්‍රීසිය යි. ඩොමීනියන් පාලනයට යටත් වූ බොහෝ රටවල් පහසුවෙන් ම ඉංග්‍රීසිය ග්‍රහණය කර ගත්හ. ඉන්දියාව,

දකුණු අප්‍රිකාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස ගත හැකි ය. එම රටවල උසස් අධ්‍යාපනය සඳහා යොදාගනු ලබන භාෂා මාධ්‍යය ඉංග්‍රීසිය වේ.

ඉංග්‍රීසිය නොසලකා හැරීමේ පාඩුව අදටත් අපට තිබේ. මේ සම්බන්ධයෙන් අතීතයට බැණ වැදීමෙන් පලක් නැත. සිදුවිය යුත්තේ අලුත් උපාය මාර්ග ඔස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කිරීම ය. එය ආරම්භ කිරීමට ඇති හොඳම ස්ථානය ද පාසල ය. මේ සියල්ල හොඳින් වටහාගෙන අලුත් වැඩසටහන ආරම්භ කිරීමට යයි. එක වසරට හා දෙක වසරටත් ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෙළ පොත් පමණක් සැපයීම ප්‍රමාණවත් නැත. ඒ සඳහා ගුරුවරුන් ද පුහුණු කළ යුතු ය.

නව අදහස දක්වන්න