ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කොදෙව් සංචාරය අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කොදෙව් සංචාරය අරඹයි

ෆවුස් මොහොමඩ්

වසර 2021 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම් 4 තෝරාගැනීමට පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින ශූරතාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් සංචාරය සඳහා පෙරේදා පිටත්ව ගියේය.

එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ එක්දින තරගාවලිය අයි. සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට ඇතුළත් වෙයි. වසර 3ක දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන මේ තරගාවලියේ ඉදිරිපෙළ ස්ථාන 4ට පත්වන කණ්ඩායම් වසර 2021 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම්වලට ඒ සඳහා සුදුසුකම් ලැබීමේ වෙනත් තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් යුතුව කොදෙව් දූපත් බලා ගිය ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ මස 8 වැනිදා ට්‍රිනිඩෑඩ් හී දී පුහුණු තරගයකට එක්වන අතර දෙපිල අතර එක්දින තරගාවලිය මේ මස 11, 13 සහ 15 ට්‍රිනිඩෑඩ් හී දී පැවැත්වෙයි. අනතුරුව දෙපිල අතර විස්සයි20 තරගාවලිය මේ මස 19,21 සහ 22 පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇන්ටිගුවා දූපතේදීය.

එංගලන්තයට ශූරතාව හිමිකර දෙමින් ලන්ඩනයේදී නිමාවට පත්වූ 2017 කාන්තා ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉෂානි ලොකුසූරිය ආබාධයකට ලක්වී සිටින බැවින් මෙවර තරගාවලිය අහිමිවී ඇති අතර සෙසු ක්‍රීඩිකාවන් වන චමරී පොල්ගම්පොල, ඕෂධී රණසිංහ සහ හර්ෂිතා මාධවී මෙවර ශ්‍රී ලංකා පිලට ඇතුළත්වී නොමැත. ඒ වෙනුවට කඩුලු රකින ක්‍රීඩිකා රෙබේකා වැන්ඩෝර්ට්, වේගපන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසුරිය, තුන්ඉරියව් ක්‍රීඩිකා හංසිමා වීරක්කොඩි සහ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිනිය යසෝධා මෙන්ඩිස් කණ්ඩායමට එක්වී සිටිති.

මෙවර කණ්ඩායම තේරීමේදී කැපී පෙනෙන සිදුවීම වන්නේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් සපිරි නවක ක්‍රීඩිකාවන් තිදෙනකු හඳුනා ගැනීමට හැකිවූ බව කියමින් පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතාගේ පැසසුමට ලක් වූ ක්‍රීඩිකාවන් වන හසිනි පෙරේරා, නිපුනි හංසිකා සහ හර්ෂිතා මාධවී අතරින් 19 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මෙවර සංචාරයෙන් ඉවත් කර තිබීමය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේය.

ඉනෝකා රණවීර (නායිකා), ශ්‍රීපාලී වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, චමරී අතපත්තු, ප්‍රසාදිනී වීරක්කොඩි, දිලානි මනෝදරා, යසෝධා මෙන්ඩිස්, උදේශිකා ප්‍රබෝධනී, චන්දිමා ගුණරත්න, අමා කාංචනා, හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, අචිනි කුලසූරිය, නිපුනි හංසිකා, රෙබේකා වැන්ඩෝර්ට් 

 

නව අදහස දක්වන්න