අභියෝග හමුවේ ඉදිරියට යන කොටහේන කැතිඩ්‍රල් පිරිමි විදුහල | දිනමිණ

අභියෝග හමුවේ ඉදිරියට යන කොටහේන කැතිඩ්‍රල් පිරිමි විදුහල

භෞතික සංවර්ධන අංශයෙන් මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික අංශයෙන් ද විශාල සංවර්ධනයක් කරා ගෙන යාමට වත්මන් විදුහල්පතිතුමා ගන්නා කැපවීම ඉතා ප්‍රසංසනීය මට්ටමකින් පවතී. එතුමාට පාසලේ ගුරු මණ්ඩලයෙන්ද විශාල සහයෝගයක් හිමිවන අතර පාසල් කාර්යය මණ්ඩලය සහෝදරත්වයෙන් යුක්තව කටයුතු කරමින් පාසල ඉදිරියට ගෙන යාමට විශාල ප්‍රයත්නයක් දරමින් සිටී.

කොළඹ 13 කොටහේන එංගලන්ත සභාවට අයත් ශුද්ධ වූ යාකොබ් තුමාගේ දෙව්මැඳුර ඉදිවූයේ ක්‍රි.ව. 1877 දීය. ඊට ටික කලකට පසු දෙව් මැදුර යාබද කුඩා ගොඩනැඟිල්ලක කැතිඩ්‍රල් (පිරිමි) විදුහල ආරම්භ විය. එවකට කොළඹ ජනගහනය 80,000ක් පමණ වූයේය.

එංගලන්ත සභාවේ චැප්මන් බිෂොප්තුමා ක්‍රි.ව. 1857 දී ශාන්ත තෝමස් විදුහල ආරම්භ කළ අතර එම විදුහල ක්‍රි.ව. 1917 දී කොටහේන ප්‍රදේශයේ සිට ගල්කිස්සට ගෙන එන ලදී. ඉන් පසු එහි යාමට අපහසුතා ඇති වූ දරුවන් සඳහා කැතිඩ්‍රල් (පිරිමි) විද්‍යාලය ප්‍රයෝජනයට ගන්නා ලදී. එවකට මෙම පාසලේ ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් විය. මේ කාලය වන විට බොහෝ ධනවත් උගත් පිරිස් ක්‍රම ක්‍රමයෙන් කොටහේනෙන් ඉවත් වී කොළඹ බටහිර ප්‍රදේශවල පදිංචියට යෑමට පටන් ගත්හ.

සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් ක්‍රි.ව. 1930 දී නව දෙමහල් ගොඩනැඟිල්ලක් මෙම විදුහලට ලබා දීමට මූලික විය. මෙතුමා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේත් අනුර බණ්ඩාරනායක මහතාගේත් මුත්තණුවන්ය.

‍ක්‍රි.ව. 1960 පාසල් රජයට පවරා ගැනීමෙන් පසු මෙහි ඉංග්‍රීසි මාධ්‍ය ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව ගොස් ඒ වෙනුවට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම පාසලේ ස්ථාපිත විය.

ක්‍රි.ව. 1989 වන විට එවකට හිටපු විදුහල්පතිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ බලධාරීන් විසින් මෙහි දෙමළ අංශය වසා දැමූ බව ප්‍රසිද්ධ රහසකි. ක්‍රි.ව. 2001 සැප්තැම්බර් මාසය වන විට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 64 කි. ක්‍රි.ව. 2000 වර්ෂයේ සිට 10 හා 11 ශ්‍රේණි අහෝසි කර පාසල් විචාරවත් කිරීමේ වැඩසටහනෙන් ශාන්ත ලූසියා මහ විදුහලට එම සිසුන් භාර දී ඇත. වර්තමානයේ ප්‍රාථමික ශ්‍රේණි පාසලක් ලෙස ක්‍රියාත්මක වන අතර, 5 ශ්‍රේණියෙන් පසුව දරුවන් 6 ශ්‍රේණිය සඳහා ශාන්ත ලූසියා විද්‍යාලයට භාර දෙනු ලැබේ.

වර්තමානයේ ජී.ඩී. සී. රූපනාථ මහතා පාසලේ විදුහල්පති ධූරයේ වැඩ කටයුතු ආවරණය කරනු ලැබේ. එතුමා විදුහල්පති ධුරයේ වැඩ කටයුතු භාර ගන්නා ලද්දේ 2010.12.01 වන දින සිටය. එතෙක් විදුහල්පති ධුරය හෙබවූ බී.එම්. ජේ. එස්. මැන්දිස් මහතා 2010.11.30 වන දින සිට සේවයෙන් විහ්‍රාම ගියේය.

නව විදුහල්පතිතුමා ධුරයේ වැඩ කටයුතු ආවරණය කිරීමක් සමඟ මෙතෙක් පාසලේ පැවැති ඇල්මැරුණු ස්වභාවය පහව ගොස් පාසලට නව ජීවයක් ලැබුණි. මුළු පාසලේම සෑම ගොඩනැඟිල්ලකටම සුපසන් නිම්තෙර ව්‍යාපෘතිය යටතේ 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 වසරවල වෙන්වූ මුදල් ප්‍රයෝජනයට ගෙන පාසලේ සෑම ගොඩනැඟිල්ලකටම පන්ති කාමරය ඇතුළත, පිටත තීන්ත ආලේප කර ආදර්ශ වැකි සටහන් කර පාසල අවට පරිසරය කළඑළියක් ඇති කර පාසලට නව ජවයක් ලබාදීමට කටයුතු කරන ලදී. පාසලේ සෑම වාරයකම විවිධ වැඩසටහන් සඳහා උත්සව පවත්වමින් පාසල ප්‍රජාවට ජනප්‍රිය කරවීමට කටයුතු කරන ලදී.

2012 වර්ෂ්‍ය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් 30 දෙනෙක් බඳවා ගත් අතර, 2013 වසර සඳහා එම අගය වර්ධනය කර ගනිමින් ළමුන් 42 දක්වා වර්ධනය කළ අතර 2014 වර්ෂයේ දී ළමුන් 50 සීමාව පසු කරමින් 1 ශ්‍රේණිය සඳහා සමාන්තර පන්ති දෙකක් ආරම්භ කරමින් නව විපර්යාසයක් පාසලේ සිදුවූ අතර කොටහේන ප්‍රදේශයේ ජනප්‍රිය පිරිමි පාසලක් බවට අප පාසල පත් වෙමින් තිබේ. 2018 වර්ෂයේදී ද මෙම සීමාව ඉක්මවා යමින් 1 ශ්‍රේණිය සඳහා සමාන්තර පන්ති දෙකක් ආරම්භ කිරීමට අපේක්ෂා කරමු.

පාසලේ දරුවන් වෙනුවෙන් තූර්ය වාදක කණ්ඩායමක් ආරම්භ කර නව ජවයකින් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර නිල ඇඳුමක් ද නිර්මාණ්‍ය කර කොට්ඨාස, කලාප, ක්‍රීඩා උළෙල සඳහා සහභාගි කරවීමද සිදු විය. පෝථක බාලදක්ෂ කණ්ඩායමද අති සාර්ථක ලෙස පාසල තුළ ක්‍රියාත්මක වේ. එමෙන්ම මේස පන්දු ක්‍රීඩාව හඳුන්වාදී ඒ සඳහා ක්‍රීඩා නිල ඇඳුමක් ද සකස් කර අන්තර් පාසල් මේස පන්දු තරඟ සඳහා ද දරුවන් සහභාගි කරවීමට අපට හැකි වූ අතර 2014 වර්ෂයේ දී පාසලේ සියලුම දරුවන්ගේ සහභාගීත්වයෙන් මේස පන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී. මීට අමතරව පාසලේ භෞතික සම්පත් සංවර්ධනය කර ගැනීමටද හැකියාව ලැබුණි. ප්‍රදේශයේ උතුරු කොළඹ පාසල් අධීක්ෂණ මන්ත්‍රී ‍ජේ.මොහොමඩ් ෆායිස් මන්ත්‍රීතුමා සමඟ සහ සම්බන්ධතා පවත්වා ගනිමින් මෙම පාසලේ ගුණාත්මක තත්ත්වය හා භෞතික සම්පත් ප්‍රමාණයද වර්ධනය කරගෙන ඇත.

පාසලේ ශිෂයත්ව ප්‍රතිඵල ඉහළ නැංවූ අතර, ඉංග්‍රීසි සාහිත්‍ය තරගාවලියේදී හා නිපුණතා පාදක තරඟාවලියේදී කොට්ඨාස මට්ටමේ, කලාප මට්ටමේ මෙන්ම පළාත් මට්ටමේ තරඟ දක්වා නියෝජන කිරීමට අපේ දරුවන්ට හැකිවිය.

භෞතික සංවර්ධන අංශයෙන් මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික අංශයෙන් ද විශාල සංවර්ධනයක් කරා ගෙන යාමට වත්මන් විදුහල්පතිතුමා ගන්නා කැපවීම ඉතා ප්‍රසංසනීය මට්ටමකින් පවතී. එතුමාට පාසලේ ගුරු මණ්ඩලයෙන්ද විශාල සහයෝගයක් හිමිවන අතර පාසල් කාර්යය මණ්ඩලය සහෝදරත්වයෙන් යුක්තව කටයුතු කරමින් පාසල ඉදිරියට ගෙන යාමට විශාල ප්‍රයත්නයක් දරමින් සිටී.

2016 වර්ෂයේදී ද 2015 වර්ෂයේදී මෙන්ම පාසලේ මානව හා භෞතික සම්පත් යන දෙඅංශයම සංවර්ධනය කර ගැනීමට හැකි විය. 2016 වර්ෂයේදී ළමුන් 60කට ආසන්න සංඛ්‍යාවක් පළමු ශ්‍රේණියට බඳවා ගෙන සමාන්තර පන්ති දෙකක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණි.

ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසාවෙන් ද මෙම ජයග්‍රහණ පාසලට හිමිකර ගැනීමට හැකි විය. දෙපාර්තමේන්තු මට්ටමෙන් ලැබෙන සහය තව තවත් වර්ධණය වුවහොත් මෙම විදුහල්පතිතුමා යටතේ පාසල දියුණු කර ගැනීමේ බාධාවක් ඇති නොවන බවද, උතුරු කොළඹ ප්‍රදේශයේ ඉතා හොඳම කනිෂ්ඨ පාසලක් බවට පත්වන බවද සතුටින් සඳහන් කරමු.

2017 වසරේ නව ර ජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වන “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ නව බහු තාක්ෂණික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කර නව වැසිකිළි ඉදිකිරීමට කටයුතු සූදානම් කර ඇත. ප්‍රධාන ශාලාව නවීකරණය කිරීමට ද කටයුතු සූදානම් කර ඇත.

ජී.ඩී.සී. රූපනාථ
විදුහල්පති 

නව අදහස දක්වන්න