ඓතිහාසික ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට | දිනමිණ

ඓතිහාසික ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සධීරට හා ළහිරු ගමගේට මංගල ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ඩුබායිහිදී ඊයේ ආරම්භ වූ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත්වූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඊයේ සවස තේ පානය (ඕවර 28) සඳහා තරගය නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 96ක් රැස්කරගෙන සිටියේය. දිමුත් කරුණාරත්න පන්දු 86කින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 52ක් හා මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන සධීර සමරවික්‍රම පන්දු 13කදී හතරේ පහක් සමග ලකුණු 14ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කරුණාරත්න ඊයේ වාර්තා කළේ සිය 14වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

මුළු ලකුණු 63ක් වෙද්දී ආරම්භක කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට යසීර් ෂා සමත්විය. යළිත් වරක් අසාර්ථක වූ කෞෂාල් සිල්වාට ඊයේ රැස්කළ හැකිවූයේ ලකුණු 27ක් පමණි. පන්දු 71කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් ඉනිමට එක්කර ගත්තේය.

ඊයේ ආරම්භ වූ ඓතිහාසික තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරග වරම් දිනා ගැනීමට 22 හැවිරිදි සධීර සමරවික්‍රම හා 29 හැවිරිදි ළහිරු ගමගේ සමත්වූහ. උපනායක ළහිරු තිරිමාන්න ආබාධයක ලක්වීම හේතුවෙන් සධීර කණ්ඩායමට කැඳවූ අතර දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් වෙනුවට ගමගේ කණ්ඩායමට එක්කර තිබිණි.

පාකිස්තානය කණ්ඩායමේ එක් වෙනසක් කරමින් පළමු තරගයට එක්වූ හසන් අලි වෙනුවට වහබ් රියාස් කැඳවා තිබිණි.

තරග දෙකකින් සමන්විත මේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස මේ වනවිටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු ගමගේ.

පාකිස්තාන කණ්ඩායම - සර්ෆ්‍රාස් අහමඩ් (නායක), අසාර් අලි, ෂාන් මසූඩ්, සමි අස්ලම්, බාබර් අසාම්, අසාඩ් සෆීක්, හාරිස් සොහේල්, යසීර් ෂා, මොහොමඩ් ආමීර්, මොහොමඩ් අබ්බාස්, වහබ් රියාස්.

නව අදහස දක්වන්න