සහෝදරත්වය-මිත්‍රත්වය ආරක්ෂා කිරීමට පොදු රද මඩුලු ක්‍රීඩා සමුළුව කැපවෙනවා | දිනමිණ

සහෝදරත්වය-මිත්‍රත්වය ආරක්ෂා කිරීමට පොදු රද මඩුලු ක්‍රීඩා සමුළුව කැපවෙනවා

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එම්. හාරිස්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන සභාපතිනී ලුයිස් මාටීන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන උප සභාපති, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විධායක කමිටු නියෝජිතයන් සමග සමූහ ඡායාරූපයකට එක්ව සිටි අයුරු. ඡායාරූපය - ප්‍රින්ස් ගුණසේකර

පොදු රාජය මණ්ඩලීය රටවල සහෝදරත්වය හා මිත්‍රත්වය ආරක්ෂා කීරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය කැපවී කටයුතු කරන බව එහි සභාපතිනී ලුයිස් මාටීන් මහත්මිය පවසයි. කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී ඇය එසේ පැවැසූවාය.

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එම්. හාරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දෙදින රැස්වීම ආරම්භවූ අතර ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ මෙන්ම 2022 ක්‍රීඩා උළෙල පිළිබඳ තීරණ රැසක් මේ කමිටුවේදි ගනු ලැබුණි. වසර 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට කුමක් ද යන්න මෙතෙක් ලැබී ඇති යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමද සිදුවිය.

මේ විධායක කමිටු රැස්වීමට අප්‍රිකා, අමෙරිකා, යුරෝපා, කැරිබියන් හා කැනේඩියා කලාපවල නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටින අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට ක්‍රීඩා කටයුතු සංවර්ධනයේදී බලපාන ප්‍රශ්න පිළිබඳවද අවධානය යොමු කෙරුණි. මේ රැස්වීමට ආසියා කලාපයෙන් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූහ.

ක්‍රීඩා ඇමැති උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න