සරත් නන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න | දිනමිණ

සරත් නන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

කුමුදු හෙට්ටිආරච්චි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා නීතිය වරදවා වටහා ගනිමින් පළාත් පාලන සංශෝධන පනතට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එන්. සුමන්තිරන් හා නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (06) පෙත්සම් දෙකක් ගොනු කළහ.

හිටපු අගවිනිසුරුවරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්ව තමන්ට ද කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අංක 17 පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තුව සම්මත වූ පනතක් හෙයින් මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ඊට අභියෝග කිරීමේ හැකියාවක් නොමැති බවත් සිය පෙත්සමින් පවසා සිටින නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පසුගිය 28 වැනිදා හිටපු අගවිනිසුරුවරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිමය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කර ඇත.

නිසි ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මතව ඇති හෙයින් එම සම්මතවීමෙන් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වී තිබෙන බවත් සිය පෙත්සමෙන් පවසා සිටන නීතිඥ රජික කොඩිතුවක්කු මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් එය අභියෝග කළ නොහැකි බවත් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එන්. සුමන්තිරන් මහතා ද සිය පෙත්සම මඟින් ඒ හා සමාන කරුණු ඉදිරිපත් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා සිය පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 

 

නව අදහස දක්වන්න