2018 දේශීය ආහාර නිෂ්පාදන වසරයි | දිනමිණ

2018 දේශීය ආහාර නිෂ්පාදන වසරයි

රක්ෂණ ශ්‍රියන්ත

පිටරටින් ගෙන්වන සියලු කෘෂි උපකරණ-භාණ්ඩ බද්දෙන් නිදහස් කරනවා

2018 වර්ෂය දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරමින් ගොවි ආර්ථීකය ශක්තිමත් කෙරෙන යෝජනා රැසක් 2018 අය වැයට එක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. කෘෂිකර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් මෙන්ම ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලූම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උත්සවය සහ ජාතික වප් මගුල් උත්සවය අමතමිනි. මහවැලි ඉඩම් ඔප්පු ලබාදීම, මහවැලි දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, කෘෂි රක්ෂණාවරණ පිළිගැන්වීම, නියඟයෙන් හානියට පත් ගොවි ජනතාවට බිත්තර වී ලබාදීම, ගොවි සංවිධාන ඇගයීම මෙන්ම 2017 ගෙවතු වගා ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. මහවැලි අධිකාරියේ 2017-2018 වගා සැලැස්ම මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පාශු සංරක්ෂණය පිළිබඳ ග්‍රන්ථය ජනාධිපතිතුමා අතින් පාසල් දරුවන් වෙත පිළිගැන්විණි.

දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට මෙන්ම මෙරට කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මග පෙන්වීමෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොල් ත්‍රිකෝණය ඇතුළු පොල්වතු අක්කර ලක්ෂ ගණනක් කට්ටි කර නිවාස ව්‍යාපෘති බවට පත් කිරීම හේතුවෙන් පොල් නිෂ්පාදනය පහත වැටීම සිදුව ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නිවාස ඉදිකිරීමේ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. ආණ්ඩුවට දොස් කියමින් පෙළපාළි යන සියලු දෙනාගෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක්වන ලෙසත් සියලු භේද පසෙකලා රටට ආදරය කරන සැබෑ පුරවැසියන් ලෙස මෙම ජාතික වැඩසටහන සමග එක්වන ලෙස ඉල්ලා සිටියේය. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයකට හෝ සතියකට සීමා නොවන වැඩපිළිවෙළක් වන අතර, එය තුන් අවුරුදු සැලැස්මක් යටතේ ඉදිරියට යන පුළුල් ජාතික වැඩසටනක ආරම්භයක් බවත් සියලූම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලූ අංශ වගකීමකට එහා ගිය යුතුකමක් සේ සලකා එයට දායකවිය යුතු බව සදහන් කළේය. දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගොවි ජනතාවට රාජ්‍ය බැංකු සහ රාජ්‍ය නොවන බැංකුවලින් හිමි වන සහන පිළිබඳ දැනුම් දෙන ලෙස රජය මේ වන විට උපදෙස් ලබා දී තිඛෙන අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ සඳහා යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පෞද්ගලික ආයතනවලින් ද ඉල්ලීමක් කර ඇතැයිද කීය.

අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ ,ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර. 


අදහස් 1ක් ඇත

api magampura weni utsawa deka rajaye mudal gena kampauna, wedabarageniimee sarala uthsawaya gena satutu una. ayee a wage utsawa dekkama ethiwanne dukak. avinishita baawayak..

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...