ජාලිය ගැන රහස් ලේඛනයක් ඉදිරිපත් කිරීමට අවසර නොදෙයි | දිනමිණ

ජාලිය ගැන රහස් ලේඛනයක් ඉදිරිපත් කිරීමට අවසර නොදෙයි

සුභාෂීණී සේනානායක

ඇප මත සිටින වොෂින්ටන් හිටපු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් රහස්‍ය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර සිල්වා මහතා අධිකරණ යෙන් කළ ඉල්ලීමට අවසර ලබා දිය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (06) දැනුම් දුන්නාය.

සියලුම නඩු කටයුතු විවෘත අධිකරණයේ සිදු කළ යුතු බවත් විත්ති පාර්ශ්වය විසින් රහස්‍ය ලෙඛනයක් ඉදිරිපත් කරන්නේ නම් එය පරිශිලනය කිරීමට අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැති බවත් කියා සිටි මහෙස්ත්‍රාත්වරිය වාචික හා ලිඛිත සැලකිරීම් විවෘත අධිකරණයේ සිදු කළ යූතු බව ද දැනූම් දූන්නාය.

සැකකරු සම්බන්ධයෙන් වූ ඉතාම සංවේදී සමාජගත නොවිය යුතූ රහස් ලේඛනයක් ඇමරිකාවේ නීතිඥවරයකු විසින් ඊමෙල් පණිවිඩයක් මගින් මෙරටට එවන ලද බවත් එය අධිකරණයට ඉදිරිපත් කිරිමට අවසර ලබා දෙන ලෙසත් ජනාධිපති නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුට මෙරටට ඒමට හැකියාවක් නැති බවත් සැකකරු එරට තානාපතිව සිටි කාලයේ වූ බව කියන සිද්ධින් සම්බන්ධව එරටින් එම සිද්ධීන් සම්බන්ධයෙන් සමගාමීව පරික්ෂණයක් සිදු කරන බවත් දන්වා සිටි ජනාධිපති නීතිඥ වරයා එම හේතවෙන් සැකකරු එරට රඳවා සිටින බවත් ඒ නිසා මෙරට ට පැමිණිමට නොහැකි බවත් අධිකරණයට දන්වා සිටියේය.

ජාත්‍යන්තර නිතියට අනුව තානාපති මූක්තිය යටතේ සැකකරු යම් යම් වැරදි සිදු කර ඇත්නම් එරටට නිල වශයෙන් දැනූම් දි තිබෙන්නේ ද යන්න ජනාධිපති නීතිඥ වරයා විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත් වරිය මුල්‍ය අපරාධ කොට්ඨාසයට නියම කළාය.

අක්ෂි රෝග තත්ත්වයයක් සම්බන්ධ යෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකාවේ ජොර්ජියා ප්‍රාන්තයට ගොස් ඇති අතර සැකකරු ඊයේ අධිකරණ යෙ පෙනී සිටියේ නැත.

සැකකරු ට මෙරටට ඒමට හැකියාවක් නැති බවත් එරට නීතියට අනුව සැකකරු ට එරටින් පිටත්විය නොහැකි බවද ශවින්ද්‍ර සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නියෝගය ලබා දීමට ලබන 30 වනදා නඩුව යළි කැදවන ලෙසට ද මහෙස්ත්‍රාත් වරිය නියෝග කළාය.

රජයේ මුදල් ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ,විශ්වාසය කඩ කිරීම ,ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර හා අනුබල දීම යන වරදවල් යටතේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත භාර ගත කර ඇප ඇප මත මුදා හැර සිටින වොෂින්ටන් හිටපු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් ඔහුගේ නිතිඥවරයා සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.

පොදු දේපල හා මුදල් විශුද්ධිකරණ පනත් යටතේ සැකකරුට චෝදනා ගොනු කර තිබූ අතර සැකකරු ඇමරිකාවේ තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 66ක මුදලක් සදහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් ඉන් ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් තමන් සඳහා යොදාගෙන ඇති බවටත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සැකකරුට චෝදනා ගොනු කර ඇත. 

නව අදහස දක්වන්න